5. කුම්භ වර්ගය
සියලු කැමති වස්තූන් දීමට සමර්ථවූ කුම්භ නම්වූ කළය ලදින් ඒ ධූර්තකයා යම්තාක් ඒ කළය රක්ෂා කෙරේද, ඒතාක් කල් හෙතෙම සැපය වඩන්නේය.
යම් කලෙක්හි සුරාවෙන් මත්වූයේද, ආඩම්බර වූයේ එකල්හි ප්‍රමාදයෙන් කළය බිඳුනේය. ඉක්බිත්තෙන් නග්න වූද එකතු කොටගත් රෙදි කැබලි මසා හැන්දාවූද, අඥානතෙම පසුව වැනසේද,
එපරිද්දෙන්ම යම් පුරුෂයෙක් වස්තුව ලබා පමණ නොදන්නේ අනුභව කෙරේද, ඒ නුවණ නැත්තේ භද්‍රඝටය බිඳිනා ලද ධූර්තකයා මෙන් පසුව තැවේයයි’ කීයේය.
1. භද්‍රඝට ජාතකය.
මහරජ, බාරාණසියෙහි නිබඳව වසන්නාවූ අසූ දහසක් පමණ කවුඩන්ගෙන් පිරිවැරූ සුපත්ත නම් කවුඩු රජෙක් ඇත.
ඔහුගේ දෙළදුක් ඇත්තාවූ සුපස්සා නම් භාර්යාව රජ්ජුරුවන්ගේ මුළුතැන් ගෙයි පිසූ වෙන වෙන මාහැඟිවූ රාජ භොජනය අනුභව කරන්ට කැමති වේ.
ඔවුන්ගේ මම දූතයෙක්මි. රජු විසින්ද මෙහෙයන ලද්දේ මෙහි ආවෙමියි. මාගේ ස්වාමියාට සත්කාර කෙරෙමි. එසේහෙයින් භත්ත කාරකයාගේ නාසිකාවෙහි වණය කෙළෙමියි’ කීයේය.
2. සුපත්ත ජාතකය.
එක්තරා පාණ්ඩු රෝග නම්වූ ව්‍යාධියකින් දැඩිකොට පහරණ ලද දුක්ඛිතවූ පෙළෙන්නාවූ මාගේ මේ ශරීරය අව්වෙහි වූ හුණු වැල්ලෙහි තබන ලද මලක් මෙන් වියළෙන්නේය.
පවිත්‍ර නොවූ මේ ශරීරය පවිත්‍ර යයි, අඥානයන් විසින් කියන ලදී. යහපත් නොවූ මේ ශරීරය යහපත්යයි සම්මතය. කේශාදී නොයෙක් කුණපයන්ගෙන් සම්පූර්ණවූ මේ ශරීරය නුවණින් නොබලන්නාහට පවිත්‍ර ස්වරූපයෙන් වැටහේ.
යම් ශරීරයෙක්හි ක්ලෙශ මුර්ච්ඡාවෙන් ඉතා මුසපත්වූ සත්වයෝ සුගතියෙහි ඉපදීමට මාර්ගය පිරිහෙළත්ද, එසේවූ ආතුරවූ පිළිකුල් කටයුතුවූ අපවිත්‍රවූ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාවූ මේ කුණු ශරීරයට නින්දා වේවායි’ කීයේය.
3. කායවිච්ඡන්ද ජාතකය.
නොවිසිර පවත්නා ස්වරයෙන් යුක්තවූ මනොඥවූ ශබ්ද ඇති ශබ්ද පවත්වන්නවුනගෙන් උතුම්වූයේ යම් ජම්බු ශාඛාවෙක්හි හුන්නේ මයුර පෝතකයකු මෙන් මේ කවරෙක් නම් නාද කෙරේද?
කුලපුත්‍රයාට ප්‍රශංසා කරන්නට කුලපුත්රයෙක්ම දනී. ව්යාඝ්ර පොතකයෙකු හා සමාන වර්ණ ඇත්තාවූ නුඹ යහළුව, බඩ පිරෙන තුරු දඹගෙඩි අනුභව කරව, තට දෙමි.
බොරු කියන්නාවූ එක්තැන්වූ ඔවුනොවුන් ප්‍රශංසා කරගන්නාවූ වමනය කළ ආහාරාදීන් කන්නාවූ කවුඩාද, කුණප අනුභව කරන්නාවූ හිවලාද යන දෙදෙනා ඒකාන්තයෙන් බොහෝ කලකින් දකුම්හයි’ කීයේය.
4. ජම්බුඛාදක ජාතකය.
මෘගරාජය, නුඹගේ කඳ වෘෂභ රාජයෙකුගේ කඳක් මෙන් වටය. ඇඟසෙලවීම සිංහයෙකුගේ මෙනි. තට නමස්කාර වේවා. කිසිවකුත් අපි ලබමු.
කුලපුත්‍රයෙකුට ප්‍රශංසා කරන්නට කුල පුත්රයෙක්ම දනී. මොණරෙකුට බඳු බෙල්ල ඇති කවුඩුව, මේ එරඬු ගසෙන් බැස මෙහි එව.
මෘගයන් අතුරෙන් හිවලා ලාමකවේ. පක්ෂීන් අතුරෙන් වනාහි කවුඩා හීනයෙක. ගස් අතුරෙන් එරඬුගස හීනය. මේ හීනයෝ තුන්දෙනෙක් එක්වූවාහුයි’ කීවේය.
5. අන්ත ජාතකය.
ලවණ ජලයෙහි හාත්පසින් දුවයි. මත්ස්‍යයන්ද, මෝරුන්ද, වළක්වයි, රැලෙහිද ගැටෙයි, මේ කවරෙක්ද?
සාගර නම්වූ ගංගාවන්ට ස්වාමිවූ සමුද්‍රය බොන්නට කැමැත්තෙමි. එසේ හෙයින් අනන්තපායී නම්වූ පක්ෂියාවෙමි. පිරවිය නොහැක්කාවූ තෘෂ්ණාවෙන් යුක්ත හෙයින් අතෘප්තය කියා දිශාවන්හි ප්‍රසිද්ධ වූයේ වෙමි.
ඒ මේ සාගරය තෙම දිය බස්නා වේලාවට බසී. වැඩෙන වේලාවට පිරේ. මේ සාගරයාගේ බීමෙන් අඩුවීමෙක් නොපෙනේ. එසේ හෙයින් සාගරය වනාහි බී අවසන් කරන්නට නුපුළුවන් වේයයි’ කීයේය.
6. සමුද්ද ජාතකය.