5800. “රාජෝත්තමය, ඉදින් ඔබ පුත්‍රයාට වඩා පියා උතුම්යයි මෙසේ හඟින්නෙහි නම්, ඔබගේ අශ්වතරයාට වඩා මේ කොටළුවා උතුම් වන්නේය. කුමක් හෙයින්ද යත්: කොටළුවා අශ්වතරයාගේ පියා වේද, එහෙයිනැ” යි කීයේය.
ගද්‍රභ ප්රශ්නය.
එකුන්විසි ප්‍රශ්න නිමි.
5801. “පෙර මේ කටුසුවා තොරණ අග සිට හිස උස් නොකෙළේය. එම්බා මහෞෂධය, මේ කටුසුවා කවර කාරණයකින් මෙසේ තද බවට පැමිණියේද, එය දැනගනුව” යි වේදේහ රජතුමා කීය.
5802. “මේ කටුසුවා පෙර නොලද විරූ අඩ මස්සක් වටිනා රත්රන් ලද බැවින් මිථිලාවට අධිපති වූ වේදේහ රජු ඉක්මවා හඟියි” යි පණ්ඩිතයෝ කීහ.
කකණ්ටක ප්රශ්නය.
5803. “එම්බා මහෞෂධය, ස්ත්‍රියක් රූමත් වූවා වන්නීය. ඇය සිල්වත් ද වන්නීය. යම් පුරුෂයෙක් එබඳු ස්ත්‍රිය නොකැමැති වන්නේයයි අදහන්නෙහිදැ” යි රජතුමා ඇසීය.
5804. “මහරජ, මම එය අදහමි. ඒ පුරුෂයා පින් මද (අභාග්‍යවත්) කෙනෙක් වන්නේය. ශ්රීයත් කාලකණ්ණියත් කිසි කලෙකත් එක් නොවෙති” යි පණ්ඩිතයෝ කීහ.
සිරිකාලකණ්ණි ප්රශ්නය.
5805. 1 “මේ ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ කිසිකලෙකත් සත් පියවරක් පමණවත් ගියාවූ මිත්‍රකමක් නුවූවිරූද සතුරුවූ දෙදෙනෙක් යහළු වූවාහු මිත්රකමින් එකකුව හැසිරෙත්. ඊට හේතු කවරේදැයි” රජ තෙම පඬිවරුන්ගෙන් ඇසීය.
5806. 2 “ඉදින් අද පෙරබත් කාලයෙහි තෙපි මට මේ ප්රශ්නය විසඳාකියන්ට නොහැකිවන්නාහු නම්, තෙපි සියල්ල රටින් පිටුවහල් කරන්නෙමි. දුෂ්ප්‍රාඥ ස්වභාව ඇත්තවුන්ගෙන් මට වැඩෙක් නැත්තේමයයිද” රජතෙම කීයේය.
5807. 3 “මහරජ, මහජන රැස්වීම් ඇති තන්හි දැඩිවූ ජනයා ගේ කෝලාහල ඇතිවූ කල්හි විසිර ගියාවූ සිත් ඇති නොයෙක් දේ ගැන සිතන්නාවූ අපි මේ ප්රශ්නය විසඳා කියන්ට නොහැකිවෙමු.
5808. 4 “මහරජ, මේ පණ්ඩිතයෝ තනි තනිව රහසිගතව එකඟ සිත් ඇත්තෝ කාරණය නිරවශෙෂ වශයෙන් සිතා ඉතා විවේක තැනක හිඳ කල්පනාකොට ඉක්බිති මේ කාරණය කියත්යයි” සේනක පණ්ඩිත තෙම කීයේය.
5809. 5 “උසස් ඇමති පුත්‍රයන්ටද, රාජ පුත්‍රයන්ටද එළුමස ප්‍රිය මනාප වේ. ඔව්හු ශුනකයාගේ මස අනුභව නොකරත්. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා යහළුකම වන්නේයයි” සේනකතෙම කීයේය.
5810. 6 “මහරජ, අසුපිට ඇතිරීම් සුවය හේතුකොට ගෙණ එළුවාගේ සම ගසාගනිත්. ඔව්හු ශුනඛයාගේ හම නො අතුරත්. එසේ ඇතිකල්හි එළුවාගේ ශුනකයා හා යහළුකම වන්නේයයි” පුක්කුසතෙම කීයේය.
5811. “එළුවා වනාහි ඇඹරී ගිය අං ඇත්තෙක් වේ. බල්ලාට අං නැත. එළුවා තණ කන්නෙක්ද බල්ලා මස් කන්නෙක්ද වේ. එසේ ඇති කල්හිත් එළුවාගේ බල්ලා හා මිත්‍රකම වන්නේය” යි කාවින්ද කීය.
5812. 8 “එළුවා තණ කන්නෙක්ද කොළ කන්නෙක්දවේ. බල්ලා තණ කන්නෙක් නොවේ. කොළ ද නොකයි. බල්ලා සාවාද බළලාද කෑමට අල්ලාගන්නේය. එසේ ඇතිකල්හි එළුවාගේ බල්ලා හා මිත්‍රකම් වන්නේයයි” දේවින්දතෙම කීයේය.
5813. 9 “අර්ධවූ අෂ්ටපාදයක් හෙවත් සතර පයක් ඇති නිය අටක් හෙවත් කුර අටක් ඇති මේ එළුවා නොපෙනී සතර පාදයක් ඇති මේ ශුනකයාට මස් ගෙණඑයි. මේ ශුනක තෙම එකී එළුවාට තණකොළ ගෙණ එයි.
5814. 10 “ප්‍රාසාද මතුමහලට ගියාවූ විදෙශාධිපතිවූ රජතෙම වනාහි බළලාගේද, එළුවාගේද ඔවුනොවුන්ගේ ආහාරය පිළිබඳවූ ඒ මේ ගණුදෙනුව ප්රත්යක්ෂකොට දැක්කේයයි” මහෞෂධ පණ්ඩිතතෙම කීයේය.