1572. “උතුම් ප්‍රඥාවන්තය, මම ඔබගේ ගෘහයෙහි තුන් දවසක් විසුයෙමි. ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කරණ ලද්දේ වෙමි. මාගේ මිත්‍රයා වෙහිය. එහෙයින් මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ස්වකීය ගෘහයට යව.
1573. “නාග කුලයාගේ කටයුත්තද පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජන නැත්තක්ද වේවා ප්‍රඥාවන්තය, ඒ නුඹ ස්වකීයවූම සුභාසිතයෙන් අද මා විසින් වධයෙන් මුදන ලද්දේ වෙහියයි” පූර්ණකතෙම කීයේය.
1574. “එම්බා යක්ෂය, එසේවීනම් නුඹ මාද එහිගෙණ යව, ඔබගේ මයිලනුවන් පිළිබඳවූ ඒ කටයුත්ත මා කෙරෙහි කරව, අපිදු නුදුටු විරූ නාරජහුගේ විමානයද ඒ නාරජහුද දක්නෙමුයි” පණ්ඩිතතෙම කීයේය.
1575. “ඉදින් මිනිසාට යමක් අහිත පිණිස වන්නේද, ප්‍රඥා ඇත්තේ එය දැකීමට සුදුසු නොවේ. උත්තමවූ ප්‍රාඥය එසේ කල්හි ඔබ කවර කරුණකින් සතුරන් වසන තැනට යන්ට කැමැත්තෙහි දැයි” පූර්ණකතෙම ඇසීය.
1576. “එම්බා දිව්‍යරාජය, ඒකාන්තයෙන් මමද මේ දනිමි. නුවණැත්තේ එය දැකීමට සුදුසු නොවේ. මා විසින් කොතැනකදීත් කරණ ලද පාප කර්මයකුත් නැත්තේය. එහෙයින් මම මරණ පැමිණීමට සැක නොවන්නෙමියි” පණ්ඩිතතෙම කීය.
1577. “එසේවීනම් පඬිතුමනි, මා සමග එව, යම් තැනෙක්හි වෛශ්‍රවණ නම් රජතෙම නලිනී නම් රාජධානියෙහි මෙන් නෘත්‍ය ගීතවලින් යුක්තව නාරජතෙම හිඳීද, අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානය බලව,
1578. “ඒ නාරජුගේ විමානය රෑ දාවල් දෙක්හි නිතර සමූහව ක්‍රීඩා කරණ ලද නාගකන්‍යාවන් විසින් හැසිරෙන ලදී. බොහෝ මල්දම් ඇත්තාවූ බොහෝ මල්වලින් ගැවසුනාවූ ඒ විමානය අහස විදුලියක් මෙන් බබළයි.
1579. “ආහාරයෙන්ද පානයෙන්ද යුක්තවූ සොභාව ඇති නෘත්‍යවලින්ද ගීතවලින්ද වාදනවලින්ද යුක්තවූ වස්ත්‍රවලින් හා පළඳනා වලින්ද සැරසුනාවූ නාග කන්‍යාවන් ගෙන් පිරුණාවූ ඒ විමාණය ඉතා සෝභමාන වේයයි” පූර්ණකතෙම කීයේය
1580. “ඒ පූර්ණක නම් යක්ෂතෙම කුරුරට වැස්සන්ගේ උතුම් ඇමතියාවූ පණ්ඩිතයා තමහට පසු අස්නෙහි හිඳුවීය. හෙතෙම අලාමක ප්‍රඥා ඇති විධුර පඬිහු හැරගෙණ නා රජහුගේ භවනයට පැමිණ වීය.
1581. “අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානයට පැමිණ පණ්ඩිතතෙම පූර්ණකයාගේ පිටුපසින් සිටියේය. සමගිය අපේක්ෂා කරන්නාවූ නාරජතෙම පළමුකොටම බෑනා සමග කථා කෙළේය.
1582. “නුඹ පණ්ඩිතයාගේ යම් හෘදයවස්තුවක් සොයමින් මිනිස්ලොවට ගියේද, කිම, ඒ මනදොළ සමෘද්ධවීමෙන් අලාමකවූ ප්‍රඥා ඇති මේ පණ්ඩිතයා හැරගෙණ මෙහි පැමිණියේදැයි” නාරජතෙම ඇසීය.
1583. “ඔබ යමක්හු කැමැත්තෙහිද, ඒ මේ පණ්ඩිත තෙමේ මෙහි ආයේය. ධර්මය රක්නාවූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියෙහි කථාකරන්නාවූ ඔහු බලනු මැනව, ඒකාන්තයෙන් සත්පුරුෂයන් හා එක්වීම සැපවේයයි” පූර්ණකතෙම කීයේය.
කාලාගිරිකණ්ඩං නාම.