පහනොකරණලද කෙලෙස් කසට ඇති යමෙක් කාෂාය වස්ත්‍රය වැළඳගන්නේද, ඉන්ද්‍රිය දමනයෙන් හා පරමාර්ථ සත්‍යයෙන් පහවූ ඒ පුද්ගලයා සිවුරට නුසුදුසුයි.
යමෙක් වනාහි දුරුකරණලද කෙළෙස් කසට ඇත්තෙක් වන්නේද, ශීලයන්හි මනාව පිහිටියේද ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් යුක්තවූයේද, හෙතෙම ඒකාන්තයෙන් කාෂාව වස්ත්‍රයට හෙවත් සිවුර දැරීමට සුදුසු යයි.
1. කාසාවජාතකං.
පාරාසරිය නම් බමුණු තෙම තෝ පාපය නොකරවයි යම්බඳු පාපයක් කරණලදද, තෝ පසුව තැවෙන්නේය කියා යම් වචනයක් එකල්හි කීයේද, මේ ආචාර්යයාගේ කීමයි.
පුරුෂතෙම යම් පාප කෙනෙකුන් කෙරේද, ඒ පාපයන් තමා කෙරෙහි දකියි. යහපත කරන්නේය. යහපත දකියි. පව් කරන්නේද, අයහපතම දකියි. යම්බඳුවූ බිජුවට වපුරාද එබඳුවූ ඵලයක් හැරගණී.
2. චූළනන්දියජාතකං.
නමස්කාර කරන්නාහට නමස්කාර කරන්නේය. තමා සේවනය කරන්නහු සේවනය කරන්නේය. තමාගේ උපන් කටයුත්තට අනුව කටයුතු කරන්නාහට කටයුතු කරන්නේය. අවැඩ කැමැත්තාහට වැඩක් නොකරන්නේය. තමා සේවනය නොකරන්නහුද තෙමේද සේවනය නොකරන්නේය.
තමා අත්හරින්නහු තෙමේද හරනේය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නොකරන්නේය. පහවූ සිතින් සේවනය නොකරන්නේය. ඒ එසේමැයි. වෘක්ෂය, ක්ෂීණවූ ඵල ඇතැයි දැන පක්ෂිතෙම අනික් ගසක් බලා යන්නේය. ලෝකය වනාහි මහත්වේය.
3. පුටභත්තජාතකං.
වානරේන්ද්‍රය, වාක් සත්‍යයද, පරීක්ෂාඥාන ධර්මයද අකම්ප්‍යවූ ධෛර්‍ය්‍යයද, පරිත්‍යාගයද යන මේ ධර්මයෝ සතරදෙන තොපට මෙන් යම් පුද්ගලයෙකුට විද්‍යමාන වෙද්ද, හෙතෙම සතුරා ඉක්ම පවතියි.
සත්‍යය, ප්‍රඥාවය, ධෛර්‍ය්‍යය, ත්‍යාගය යන මේ ඉතා යහපත්වූ ගුණයෝ යමෙකුට නැද්ද, හෙතෙම සතුරා ඉක්ම නොපවතින්නේය.
4. කුම්භීලජාතකං.
දෙවයෙනි, මාගේ සියලු කටයුතුවල ව්‍යාවෘතවූ පුරුෂයෙක් ඇත. ඔහුගේද එක් අපරාධයෙක් ඇත්තේය. එහිලා ඔබ කුමක් නම් සිතන්නෙහිද?
අපගේද මෙබඳුවූ පුරුෂයෙක් ඇත. ඒ මෙතැන්හිම සිටියේය. සියලු ගුණාංගයෙන් යුක්තවූ පුරුෂයෙක් දුර්ලභවේ. අපට ඉවසීම රුචිවේ.
5. ඛන්තිවණ්ණනජාතකං.
සුදුසු කාලයෙහි නික්මීම, (නොහොත්) පරාක්‍රමය, යහපත්වේ. නුසුදුසු කල්හි තමා හුන් තැනින් නික්මීම නොහොත් පරාක්‍රමය යහපත් නොවේ. නුසුදුසු කාලයෙහි වනාහී නික්ම කිසි අභිවෘද්ධියක් නොබබළවයි (හෙවත්) ප්‍රයෝජනයක් නොලබයි. හුදකලා වූවහුද, බොහෝ දෙනා බකමුහුණෙකු නැසූ කාක සේනාව මෙන් විනාශයට පමුණු වන්නේය.
(පුරාතන පණ්ඩිතයන් විසින් නියමකොට තබන ලද) විධියගේ සංවිධාන ක්‍රමය දන්නාවූ අනුන්ගේ සිදුරු දන්නාවූ ප්‍රාඥතෙමේ වනාහි සියලු සතුරන් වසඟකොට මේ නුවණැති බකමුහුණා මෙන් සුවපත්වූයේ වන්නේය.
6. කොසියජාතකං.
ශූර ගුණයෙන් යුක්තවූ වික්‍රම ස්වභාව ඇති පහර දෙන්නාවූ පුරුෂයා හා සූරවූ පුරුෂතෙම එක්තැනට පැමිණ (ඔවුනොවුන් සටන් නොකොට කුමටයේද, හස්තිය, මෙහි එව, නැවතුව කුමට නම් බියවූයේ පලායෙහිද? මාගේද නුඹගේද වික්‍රමය අඟු මගධ දෙරට වැස්සෝ බලත්වා.
තා පාදයෙන් නොමරන්නෙමි. දත්වලින් නොමරන්නෙමි. සොඬිනුත් නොමරන්නෙමි. වැලි කුමකින්ද, යත්. අශුචියෙන්ම තා මරන්නෙමි. අශුචියෙන් අශුචිය නසනු ලැබේවයි.
7. ගූථපාණකජාතකං.