269. “ඔහු කැමැත්තාවූ මා විසින් කැමතිවූ ප්‍රියවූ ස්වාමිවූ අශ්වක නම් රජු හා සමග මේ උයන් පෙදෙස හැසිරෙන ලදී.
270. “අළුත්වූ සුවදුක් දෙකින් පැරණිවූ සුවදුක් මුවාකරණු ලැබේ. එහෙයින් අශ්වක නම් රජුට වඩා මේ ගොම පණුවාම මට ඉතා ප්‍රිය වේයයි” කීයේය.
අස්සකජාතකං සත්තමං.
271. “සමුද්‍රයාගේ හෙවත් ගංගාවගේ එතෙර යම් අඹ ආදි ඵල කෙනෙක් දක්නා ලද්දාහුද, ඒ තා විසින් දැක කියනලද අඹවලින්ද, දඹවලින්ද වැළ වරකා වලින්ද කම් නැත. මාගේ අට්ටික්කා ගසම උතුම් වේ.
272. “සුංසුමාරය, තාගේ ශරීරය ඒකාන්තයෙන් මහත්ය. ඒ ශරීරයට සුදුසු ප්‍රඥාව නැත. මා විසින් තෝ වංචාකරණ ලද්දෙහිය. දැන් සැපසේ යවයි කීයේය.”
සුසුමාරජාතකං අට්ඨමං.
273. “මා විසින් වනයෙහි අශ්ව කර්ණ නම් වූද, හෙවත් හෙළ මුරුත නම් වූද, බුළු නම් වූද, යම් වෘක්ෂ කෙනෙක් දක්නාලද්දාහුද, ඒ වෘක්ෂයෝ වෘක්ෂය. යම්සේ තෝ ඔබමොබ යාහැක්කෙහිද, එපරිද්දෙන් ඇවිදින්ට නොහැකි වෙත්.
274. “මැදිරිය බිඳගෙණ ආවාවූ මේ පුරාතනවූ කර්කරයා වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැලවීමෙහි දක්ෂවූයේ පළායන්නේයයි” කියයි.
කුක්කුට (කක්කර (සී. ස්‍යා. පී.)) ජාතකං නවමං.
275. “පිංවත, කුඩා පත්‍ර ඇති කටු සහිතවූ මේ ගස කිනම්වේද? යම් ගසෙක්හි එක පහරින් මස්තකය බිඳී ගියේදැයි” (විචාළේය)
276. “හර නැත්තාවූ කාෂ්ට අවයව ඇති හිඹුල් එරබඳු ආදීවූ ගස්වලට විදින්නාවූ මේ කන්ද ගලකයා පුරුදු ඇත්තෙක පසුව යම් ගසෙක්හි පක්ෂිතෙම මස්තකය පැලී ගියේද, එසේවූ හටගත් හර ඇති කිහිරිගසට පැමිණියේයයි” කීයේය.
කන්දගලක (කන්දලක (ක.)) ජාතකං දසමං.
නතංදළ්හවග්ගො ඡට්ඨො
එහි උද්දානය:
දළ්හබන්ධන, හංසවර, විරූපක්ඛ, සවිට්ඨක, මච්ඡවර, සකුරුඞ්ග, අස්සක, අම්බවර, කක්කරක සහ ගරුළ යන දසයයි.
7. බීරණත්ථම්භක වර්ගය
බීරණත්ථම්භක නම් සොහොණෙහිදී අව්රුද්දක් අප්‍රමාදව ඒකාන්තයෙන් සරඹය කෙළේය. පිරිසට බැස ඒ සංඥාව වැරද වූයේය ඒ එසේමැයි. ඒසාමහත් ශක්තිය නුවණ නැත්තහු රක්ෂා නොකෙරේ.
පුත සෝමදත්තය, ඉල්වන තැනැත්තේ අලාභයකට වේවයි, ධනලාභයකට වේවයි, මෙසේ වූ දෙකකට පැමිණේ එසේමැයි. යාඥාවෝ නම් මෙබඳු ස්වභාව ඇත්තාහුම යයි.
1. සොමදත්ත ජාතකං.
ආහාරයාගේ මතු මත්තෙහිවූ ආකාරය අනිකෙක යටවූ ආකාරය අනිකෙක්මය බැමිණිය, තීම විචාරමි. යට කිනම් බතෙක්ද, මතුයෙහි කිනම් බතෙක්දැයි?
තොපට වැඩෙක් වේවයි, (හෙවත්) පින්වත මම නටන්නෙක් වෙමි. ආහාර සොයන්නේ මෙහි ආයේ වෙමි. ඒ ඇගේ සොර සැමියා වනාහි කොටුවට බැසගත්තේය. යමෙකු නුඹ සොයන්නෙහිද, ඒ මේතෙමේ යයි.
2. උච්ඡිට්ඨභත්තජාතකං.
භරුනම් රජ තපස්වීන්ට අන්තරායකොට රටවැස්සන් සමග මුල්සිඳුනේය. ඒ රජ විනාශයට ගියේයයි මා විසින් අසනලදී.
එසේ හෙයින් ඡන්දයෙන් අගතියට යාම නුවණැත්තෝ ප්‍රශංසා නොකෙරෙත්. දුෂ්ටනොවූ සිත් ඇත්තේ සත්‍යයෙන් යුක්තවූ වචනය කියන්නේය.
3. භරුජාතකං.
පිරුණාවූ ගඟ යමෙකු විසින් බොන්නට යුතුයයි කියත්ද, හටගත් යව ධාන්‍ය යමෙකු නිසා සැඟවිය යුතුයයි කියත්ද, දුරට ගියහු යමෙකු කරණකොට ගෙණ එන්නේයයි කියත්ද, හෙතෙම තට ගෙණෙනලදී. එබැවින් බමුණ, අනුභව කරව.
රජතෙම කාක මාංශයකුදු එවනු පිණිස යම් හෙයකින් මා සිහිකෙරේද, එහෙයින් හංසයෝය. කොස් ලිහිණිය මොණරුය යන මොවුන් ලදකල්හිම කුමැයි සිහි නොකෙරෙද්ද, එසේමැයි සිහි නොකිරීමම ලාමක වේයයි.
4. පුණ්ණනදීජාතකං.