253. “යකඩ මාංචුවද දාරුමයවූ බන්ධනයද, වැහැරි ආදීන් කළ බැමිද යන යම් මේ බන්ධනයක් ඇද්ද, එය දෘඪවූ බන්ධනයයි නුවණැත්තෝ නොකීහ. වැලි කුමක්ද යත්, මැණිකෙහිද කුණ්ඩලාභරණයන්හිද අතිශයින් ඇළුණාවූ ඇල්මද පුතුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපේක්ෂාවකුත් ඇද්ද,
254. “මේ බන්ධනය දැඩියයි ප්‍රාඥයෝ කියති. ඔබ මොබ ඇද පහත හෙළන්නාවූ ලිහිල්වූ දුරලිය නොහැක්කාවූ යම් ක්ලෙශ බන්ධනයක් ඇද්ද, මෙයද ප්‍රඥා කඩුවෙන් සිඳ කාමයන්හි අපේක්ෂා නැත්තාවූ නුවණැත්තෝ පස්කම් සුවය හැරදමා තපසට යෙතියි” වදාළේය.
බන්ධනාගාරජාතකං පඨමං.
255. “හංසයෝද, කොස් ලිහිණියෝද, මොණරුද, ඇත්තුද, එළුවෝද, අවශෙෂ මෘගයෝද යන මේ සියල්ලෝ සිංහයාට බියවෙත්. ශරීරයෙහි සමාන බවක් නැත්තේය.
256. “එපරිද්දෙන්ම මිනිසුන් අතරෙහි ඉදින් වයසින් බාළවූයේද, නුවණැත්තේ නම් හෙතෙමේම එහි මහත්වේ. මහත් ශරීර ඇත්තේද අඥාන තෙමේ මහත් නම් නොවේ යයි” කීයේය.
කෙළිසීලජාතකං දුතියං.
257. “විරූපාක්ෂ නම් නාග රාජ කුලය හා සමග මාගේ මෛත්‍රිය ඒරාපථ නම් නා කුලය හා සමග මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත නම් නා කුලය හා සමග මාගේ මෛත්‍රිය කෘෂ්ණා ගෝතමකයන් හා සමග මාගේ මෛත්‍රිය.
258. “පාද රහිතයන් හා මාගේ මෛත්‍රිය ද්විපාදයන් හා මාගේ මෛත්‍රිය චතුෂ්පාදයන් හා මාගේ මෛත්‍රිය බහුප්පාදයන් හා මාගේ මෛත්‍රිය.
259. “මා අපාදකයෙක් හිංසා නොකෙරේවා මා ද්විපාදයෙක් හිංසා නොකෙරේවා මා චතුප්පාදයෙක් හිංසා නොකෙරේවා මා බහුප්පාදයෙක් හිංසා නොකෙරේවා.
260. “සියලු සත්වයෝද, සියලු ප්‍රාණීහුද, සියලු භූතයෝද හුදෙක් සියල්ලෝ යහපතක්ම දකිත්වා, කිසි සත්වයෙකු කරා දුකක් නොපැමිණේවා.
261. “සර්වඥයෝ අප්‍රමාණ ගුණයෙන් යුක්තයහ. නව ලොව්තුරා ධර්මයද අප්‍රමාණයහ. අෂ්ටාර්ය පුද්ගල සංඝයාද ගුණයෙන් අප්‍රමාණයහ. සියලු දීර්ඝ ජාති සර්පයෝද, නයිද, ගෝණුස්සෝද, පත්තෑයෝද, මකුළුවෝද, සිකනැල්ලුද, මීයෝද, ප්‍රමාණ වත්හ.
262. “මා විසින් ආරක්ෂාතොමෝ කරණ ලද්දීය මා විසින් පිරිත්ද කරණ ලදී. භූතයෝ පහවෙත්වා. (මෙසේ කරණ ලද ආරක්ෂා ඇති) ඒ මම නමස්කාර කෙරෙමි. සම්‍යක් සම්බුද්ධවූ විදර්ෂී ආදිවූ සත් බුදුවරුන්ට නමස්කාර වේවා.”
ඛණ්ඩජාතකං තතියං.
263. “වීරකය, මියුරු කොට හඬන්නාවූ මොණර කරකට බඳු පැහැඇති සවිට්ඨක නම්වූ මාගේ වල්ලභවූ සකුණයා හෙවත් කවුඩා දැක්කෙහි දැයි” ඇසීය.
264. “දියෙහිද ගොඩද හැසිරෙන්නාවූ නිරන්තරයෙන් අමු මසුන් බුදින්නාවූ ඒ පක්ෂිහට හෙවත් මෙසේවූ මට අනුව කරන්නාවූ තී සැමි සවිඨට්ක නම්වූ කවුඩා සෙවෙලින් හාත්පසින් වෙළුනේ මළේ යයි” කීයේය.
වීරකජාතකං චතුත්ථං.
265. “ගංගානම් ගඟෙහි උපන් මත්ස්‍යයාද හොබනේය. තවද යමුනා නම් ගඟෙහි උපන් මත්ස්‍යයාද හොබනේය. නුගරුකකට බඳුවූ වට ඇති රථ හිසක්සේ දික්වූ ග්‍රීවාද ඇති චතුෂ්පාදවූ මේ පුරුෂතෙම තොප සියල්ලක්ම ඉක්මවා බබළයි.
266. “යමක් විචාරණ ලද්දේද, එය නොකීයෙහිය. විචාරණ ලද්දේ අනිකක් කීයෙහිය. ආත්ම ප්‍රසංසා කරණ මේ පුරුෂතෙම අපට රුචි නොවේයයි” කීයේය.
ගඞ්ගෙය්‍යජාතකං පඤ්චමං.
267. “ඉදිබුව, එබැවින් වරපටින් ඇඹරූ පුඩු මලය දත්වලින් කපව, වැද්දා යම්සේ නොඑන්නේද, එසේම මම කරන්නෙමි.
268. “කච්ඡපයා ජලයට ප්‍රවිෂ්ට විය. කුරුංගමෘගයා වනයට වැදුනේය. ශත පත්‍රනම් ලිහිණි තමාහුන් ගස මුදුනින් දුරට දරුවන් ගෙණ ගියේයයි” කීයේය.
කුරුඞ්ගමිගජාතකං ඡට්ඨං.