245. “ඔහු දැක සිනහ නොවෙයි. ඔහුගේ වචනය අසා සතුටු නොවෙයි. මේ ද්වේෂ ඇත්තහුට ඇස් නොදෙයි. හෙවත් ඍජුව ඔහු දෙස නොබලයි. විරුද්ධවද පවත්නේයි.
246. “මෙකී ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙත්. නුවණැත්තේ යම් කරුණෙකින් දැකද අසාද සතුරා ඇඳින ගන්නේද ඔහුගේ මේ ආකාරයෝය යනු අභිප්‍රායයි.
මිත්තාමිත්තජාතකං සත්තමං.
247. “පුත්‍රය, දැන් පිටත සිට ආයෙමි. කලක්ගතවූයේ නොවෙමි පුත්‍රය, තාගේ මව කිමෙක්ද? අනිකෙකු සේවනය කෙරේදැයි” විචාළේය.
248. “සත්‍යයෙන් යුක්තවූ මේ වචනය මනාකොට කිය හැකි නොවේ. (ඉදින් වූ පරිදි කීයෙම් නම්) උණු හළුයෙහි දවා හොවන ලද පොට්ඨපාද ගිරවා මෙන් හෝනේයයි” කීයේය.
රාධජාතකං අට්ඨමං.
249. “මට මේ කරුණු දෙකම නොරුචිය. කරුණු දෙකම මට රුචි නොවේ. කොටුවට බැස්සාවූ යම් මේ (පවිටු තැනත්තියක්) (වී) නොදකිමියි කියාද,”
250. “ගම්පතිය, තට කියමි. ඉතා දුක්වූ ස්වල්පවූ ජීවිතය පවත්නා කල්හි මාංශය අපට දෙන්නේ කෙට්ටුවූ මහළු ගොණා දෙමසක් කල් නියමකොට ඒ කාලය නොපැමිණි කල්හි ඉල්වන්නෙහිය. එයද මට රුචි නොවෙයි.”
ගහපතිජාතකං නවමං.
251. “එකෙකුගේ ශරීරයෙහි අභිරූප භාවය ඇත. එකෙකුගේ වෘද්ධි භාවය ඇත. එකෙකුගේ සුජාත භාවය හෙවත් කුලවත්බව ඇත. එකෙකුගේ සුශීලභාවය ඇත. බමුණ තොපම විචාරමු. ඒ සතර දෙනා අතුරෙන් කවරක්හු කැමැති වෙමුද? (නොහොත්) කවරක්හට දෙමුද?
252. “අභිරූප ශරීරයෙහි අභිවෘද්ධියෙක් ඇත්තේය. වෘද්ධි භාවයට නමස්කාර කරන්නේය. කුලවත් පුරුෂයා කෙරෙහි වැඩෙක් ඇත. අපට නම් ආචාරාදී ශීලය රුචිවේයයි” කීයේය.
සාධුසීලජාතකං දසමං.
රුහකවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අම්භොරුහක, රූපවතී, මුසල, පවසන්ති, සපඤ්චම පොක්ඛරණි, අථ මුත්තිම, වාණිජ, උම්භයතෙ, චිරආගත, කොට්ඨ සහ සරීර යන දසයයි.