251. “එකෙකුගේ ශරීරයෙහි අභිරූප භාවය ඇත. එකෙකුගේ වෘද්ධි භාවය ඇත. එකෙකුගේ සුජාත භාවය හෙවත් කුලවත්බව ඇත. එකෙකුගේ සුශීලභාවය ඇත. බමුණ තොපම විචාරමු. ඒ සතර දෙනා අතුරෙන් කවරක්හු කැමැති වෙමුද? (නොහොත්) කවරක්හට දෙමුද?
252. “අභිරූප ශරීරයෙහි අභිවෘද්ධියෙක් ඇත්තේය. වෘද්ධි භාවයට නමස්කාර කරන්නේය. කුලවත් පුරුෂයා කෙරෙහි වැඩෙක් ඇත. අපට නම් ආචාරාදී ශීලය රුචිවේයයි” කීයේය.
සාධුසීලජාතකං දසමං.
රුහකවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අම්භොරුහක, රූපවතී, මුසල, පවසන්ති, සපඤ්චම පොක්ඛරණි, අථ මුත්තිම, වාණිජ, උම්භයතෙ, චිරආගත, කොට්ඨ සහ සරීර යන දසයයි.
6. නතංදළ්හ වර්ගය
253. “යකඩ මාංචුවද දාරුමයවූ බන්ධනයද, වැහැරි ආදීන් කළ බැමිද යන යම් මේ බන්ධනයක් ඇද්ද, එය දෘඪවූ බන්ධනයයි නුවණැත්තෝ නොකීහ. වැලි කුමක්ද යත්, මැණිකෙහිද කුණ්ඩලාභරණයන්හිද අතිශයින් ඇළුණාවූ ඇල්මද පුතුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපේක්ෂාවකුත් ඇද්ද,
254. “මේ බන්ධනය දැඩියයි ප්‍රාඥයෝ කියති. ඔබ මොබ ඇද පහත හෙළන්නාවූ ලිහිල්වූ දුරලිය නොහැක්කාවූ යම් ක්ලෙශ බන්ධනයක් ඇද්ද, මෙයද ප්‍රඥා කඩුවෙන් සිඳ කාමයන්හි අපේක්ෂා නැත්තාවූ නුවණැත්තෝ පස්කම් සුවය හැරදමා තපසට යෙතියි” වදාළේය.
බන්ධනාගාරජාතකං පඨමං.
255. “හංසයෝද, කොස් ලිහිණියෝද, මොණරුද, ඇත්තුද, එළුවෝද, අවශෙෂ මෘගයෝද යන මේ සියල්ලෝ සිංහයාට බියවෙත්. ශරීරයෙහි සමාන බවක් නැත්තේය.
256. “එපරිද්දෙන්ම මිනිසුන් අතරෙහි ඉදින් වයසින් බාළවූයේද, නුවණැත්තේ නම් හෙතෙමේම එහි මහත්වේ. මහත් ශරීර ඇත්තේද අඥාන තෙමේ මහත් නම් නොවේ යයි” කීයේය.
කෙළිසීලජාතකං දුතියං.
257. “විරූපාක්ෂ නම් නාග රාජ කුලය හා සමග මාගේ මෛත්‍රිය ඒරාපථ නම් නා කුලය හා සමග මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත නම් නා කුලය හා සමග මාගේ මෛත්‍රිය කෘෂ්ණා ගෝතමකයන් හා සමග මාගේ මෛත්‍රිය.
258. “පාද රහිතයන් හා මාගේ මෛත්‍රිය ද්විපාදයන් හා මාගේ මෛත්‍රිය චතුෂ්පාදයන් හා මාගේ මෛත්‍රිය බහුප්පාදයන් හා මාගේ මෛත්‍රිය.
259. “මා අපාදකයෙක් හිංසා නොකෙරේවා මා ද්විපාදයෙක් හිංසා නොකෙරේවා මා චතුප්පාදයෙක් හිංසා නොකෙරේවා මා බහුප්පාදයෙක් හිංසා නොකෙරේවා.
260. “සියලු සත්වයෝද, සියලු ප්‍රාණීහුද, සියලු භූතයෝද හුදෙක් සියල්ලෝ යහපතක්ම දකිත්වා, කිසි සත්වයෙකු කරා දුකක් නොපැමිණේවා.