233. “රුහකය, සිඳී ගියාවූද දුනුදිය තොමෝ නැවත ගළපනු ලබාද එපරිද්දෙන් තෝද පැරණි අඹුව හා සමගිවෙව, ක්‍රෝධයාගේ වසඟයට නොයව,
234. “දුනුදිය සාදන්නවුන් විද්‍යමාන කල්හි අනික් දුනුදියක් කරන්නෙමුද, එමෙන් පැරණි අඹුවගෙන් කම් නැත්තේමයයි” කීයේය.
රුහකජාතකං පඨමං.
235. “ස්ත්‍රීතොමෝ රූ ඇත්තී වන්නීය. ඕතොමෝද ආචාරශීලී වන්නීය. පුරුෂයෙක් ඇය නොකැමැති වන්නේය. මහෞෂධයෙනි, එය අදහන්නෙහිදැයි” රජ විචාළේය.
236. “මහරජ අදහමි. පුරුෂතෙම පිංනැත්තේ වන්නේ නම් ශ්‍රී තොමෝද කාලකන්නීද යන දෙදෙන කිසිකලෙකත් එක්ව නොවෙසෙත්යයි” පණ්ඩිතතෙම කීයේය.
සිරිකාළකණ්ණිජාතකං දුතියං.
237. “ඕතොමෝ මෝමය. අනික් තැනැත්තියක් නොවෙයි. මමද හෙතෙමේමය. අනිකෙක් නොවෙමි. ඒ අත් සිඳිනලද කොටාද මේ තෙමේමය. අනිකෙක් නොවේ. මාගේ කුමාර කලම ලද ස්වාමියයි යමක් තොමෝ කීද, (ඕතොමෝ මෑය) ස්ත්‍රීහු නම් වධ කරන්නට සුදුස්සහ. ස්ත්‍රීන් කෙරෙහි සැබවක් නැත්තේය.
238. “රෞද්‍රවූ ගුණ නැතිබැවින් මළමිණියක් වැනිවූ පරදාරාවන් සේවනය කරන්නාවූ මේ කොටාද මොහොලෙන් තළා ලාමකවූ පතිව්‍රතා ඇති ජීවත්වන්නාවූම මැගේද කන් හා නාස් සිඳව්යයි” කීයේය.
චූළපදුමජාතකං තතියං.
239. “සිල්වතුන් රක්ෂා කරන්නාවූ දෙවතාවෝ නැතැයි හඟිමි. එබඳු කටයුත්තකදී බැහැරට යෙතියි සිතමි. මේ ලෝකයෙහි ලෝකපාලක දේවතාවෝත් නොම ඇතැයි හඟිමි. වහා බලාත්කාරකම් කරන්නාවූ සංයම නැත්තවුන්ගේ සැහැසිකම් වළක්වන්නෝ නොම ඇත්තාහයි සිතමි.
240. ඒ අධාර්මික රජහුගේ විජිතයෙහි නොකල්හි වැසි වසියි. ඔහුගේ රාජ්‍යයෙහි උවමනා කාලයෙහි නොවසියි. ස්වර්ග සංඛ්‍යාත ස්ථානයෙන්ද ඒ අධර්මිෂ්ට රජ පහවේ. හෙතෙම මෙපමණකින් නෂ්ටවූයේ නොවේදැයි” කීයේය.
මණිචොරජාතකං චතුත්ථං.
241. “සිත්කළුවූ හිමාලය පර්වතයට සමීපව පැතිරසිටි භූමියෙහි සිහිල් දියෙන් පිරුණාවූ පොකුණක් හෙවත් ගංගාවක් ඇතිවූවාය. සිංහයෙකු විසින් රක්නාලද ඒ පොකුණ හිවලෙක් එය දන්නේම එහි වැද පැන් බීවේය.
242. “මහරජ, ඒකාන්තයෙන් දිවි ආදිවූ සියලු සිව්පාවෝ මහගඟ පැන් බොත්මය. එහෙයින් ගංගා නොවූයේ නොවෙයි. තට ඉදින් තොප අඹු ප්‍රියවීනම් ක්ෂමාකරව, හෙවත් ඉවසවයි” කීයේය.
පබ්බතූපත්ථර (පබ්බතපත්ථර (සී. ස්‍යා. පී.)) ජාතකං පඤ්චමං.
243. “යම් මනුෂ්‍ය කෙනෙක් බුදුන් විසින් දේශනා කරණලද අවවාදය නොකෙරෙද්ද, ඔව්හු තුමූ රකුසයන්ගේ රැවටිල්ලෙන් බලවත් විනාශයට පැමිණියාවූ වෙළෙන්දන් මෙන් ව්‍යසනයට පැමිණෙන්නාහ.
244. “යම් මනුෂ්‍ය කෙනෙකුන් බුදුන් විසින් දේශනා කරණලද අවවාදය කෙරෙද්ද, ඔව්හු වළාහක අශ්වරාජයා නිසා කැමති තැනට පැමිණියාවූ වෙළෙන්දන් මෙන් සුවසේ පරතෙරට හෙවත් නිවනට පැමිණෙන්නාහුයයි” වදාළේය.
වලාහකස්ස (වාලාහස්ස (සී. පී.)) ජාතකං ඡට්ඨං.
245. “ඔහු දැක සිනහ නොවෙයි. ඔහුගේ වචනය අසා සතුටු නොවෙයි. මේ ද්වේෂ ඇත්තහුට ඇස් නොදෙයි. හෙවත් ඍජුව ඔහු දෙස නොබලයි. විරුද්ධවද පවත්නේයි.
246. “මෙකී ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙත්. නුවණැත්තේ යම් කරුණෙකින් දැකද අසාද සතුරා ඇඳින ගන්නේද ඔහුගේ මේ ආකාරයෝය යනු අභිප්‍රායයි.
මිත්තාමිත්තජාතකං සත්තමං.
247. “පුත්‍රය, දැන් පිටත සිට ආයෙමි. කලක්ගතවූයේ නොවෙමි පුත්‍රය, තාගේ මව කිමෙක්ද? අනිකෙකු සේවනය කෙරේදැයි” විචාළේය.