229. “මෙය සිංහයෙකුගේ නාදය නොවෙයි. ව්‍යාඝ්‍රයෙකුගේ නාදය නොවෙයි දිවියෙකුගේ නාදය නොවෙයි සිංහ සමකින් පොරොවණලද ලාමකවූ කොටළුවෙක් නාද කෙරෙයි.
230. “කොටළුවා සිංහ සමින් පොරවන ලද්දේ, නිල්වූ යව බොහෝ කලක්ම කන්නේය, කොටළු හඬින් හඬන්නේම දූෂ්‍ය වූයේ යයි” කීයේය.
සීහචම්මජාතකං නවමං.
231. “ශ්‍රද්ධාවගේද, ශීලයාගේද, පරිත්‍යාගයාගේ ද මේ ආනිශංස ඵලය බලව, දිව්‍ය නාගතෙම නැවක ආකාරයෙන් ශ්‍රද්ධාව ඇති උපාසකයා උසුලයි.
232. “සත්පුරුෂයන් හා සමග එක්ව වාසය කරන්නේය. සත්පුරුෂයන් හා මිත්‍ර සන්ථවය කරන්නේය. ප්‍රයෝජන කිමදයත්? සත්පුරුෂයන්ගේ වනාහි එක්ව වාසයෙන් කරනැවෑමිවූ අසත්පුරුෂයා පවා සුවසේ යන්නේ යයි” කීයේය.
සීලානිසංසජාතකං දසමං.
අසදිසවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
ධනුග්ගහ, කුඤ්ජර, අප්පරස, ගිරිදත්ත, අනාවිල, චිත්තවර, දධිවාහන, ජම්බුක, සීහනඛ, හරිතයව සහ නාගවර යන දසයයි.
5. රුහක වර්ගය
233. “රුහකය, සිඳී ගියාවූද දුනුදිය තොමෝ නැවත ගළපනු ලබාද එපරිද්දෙන් තෝද පැරණි අඹුව හා සමගිවෙව, ක්‍රෝධයාගේ වසඟයට නොයව,
234. “දුනුදිය සාදන්නවුන් විද්‍යමාන කල්හි අනික් දුනුදියක් කරන්නෙමුද, එමෙන් පැරණි අඹුවගෙන් කම් නැත්තේමයයි” කීයේය.
රුහකජාතකං පඨමං.
235. “ස්ත්‍රීතොමෝ රූ ඇත්තී වන්නීය. ඕතොමෝද ආචාරශීලී වන්නීය. පුරුෂයෙක් ඇය නොකැමැති වන්නේය. මහෞෂධයෙනි, එය අදහන්නෙහිදැයි” රජ විචාළේය.
236. “මහරජ අදහමි. පුරුෂතෙම පිංනැත්තේ වන්නේ නම් ශ්‍රී තොමෝද කාලකන්නීද යන දෙදෙන කිසිකලෙකත් එක්ව නොවෙසෙත්යයි” පණ්ඩිතතෙම කීයේය.
සිරිකාළකණ්ණිජාතකං දුතියං.
237. “ඕතොමෝ මෝමය. අනික් තැනැත්තියක් නොවෙයි. මමද හෙතෙමේමය. අනිකෙක් නොවෙමි. ඒ අත් සිඳිනලද කොටාද මේ තෙමේමය. අනිකෙක් නොවේ. මාගේ කුමාර කලම ලද ස්වාමියයි යමක් තොමෝ කීද, (ඕතොමෝ මෑය) ස්ත්‍රීහු නම් වධ කරන්නට සුදුස්සහ. ස්ත්‍රීන් කෙරෙහි සැබවක් නැත්තේය.
238. “රෞද්‍රවූ ගුණ නැතිබැවින් මළමිණියක් වැනිවූ පරදාරාවන් සේවනය කරන්නාවූ මේ කොටාද මොහොලෙන් තළා ලාමකවූ පතිව්‍රතා ඇති ජීවත්වන්නාවූම මැගේද කන් හා නාස් සිඳව්යයි” කීයේය.
චූළපදුමජාතකං තතියං.
239. “සිල්වතුන් රක්ෂා කරන්නාවූ දෙවතාවෝ නැතැයි හඟිමි. එබඳු කටයුත්තකදී බැහැරට යෙතියි සිතමි. මේ ලෝකයෙහි ලෝකපාලක දේවතාවෝත් නොම ඇතැයි හඟිමි. වහා බලාත්කාරකම් කරන්නාවූ සංයම නැත්තවුන්ගේ සැහැසිකම් වළක්වන්නෝ නොම ඇත්තාහයි සිතමි.