219. “සාමනම් රජහුගේ පණ්ඩව නම්වූ අශ්වතෙම ගිරිදත්ත නම් කොරවූ අස් ගොව්වා විසින් දූෂණය කරණ ලද්දේ පුරාතනවූ ප්‍රකෘතිය හැර ඒ අස්ගොව්වාගේ ප්‍රකෘතියම අනුගමනය කෙරේ.
220. “ඉදින් ඔහුට අනුජාතවූ සුන්දරවූ ආකාරයෙන් කපනලද හිසරැවුල් ඇති පුරුෂයෙක් ඒ අශ්වයා කටකලියාවෙහි පටියෙන් අල්වාගෙණ අශ්ව මණ්ඩලයෙහි පරිවර්තනය කෙළේ වී නම් වහාම ඒ කොරබැව්හැර ඒ අස් ගොව්වාගේ ප්‍රකෘතියම අනුව ගමන් කෙරේයයි” කීයේය.
ගිරිදත්තජාතකං චතුත්ථං.
221. “යම්සේ කැළඹුනාවූ අප්‍රසන්නවූ ජලයෙහි රන්වන් බෙල්ලන්ද වටබෙල්ලන්ද මත්ස්‍ය වර්ගයාද නොදක්නේද, එපරිද්දෙන් සිත රාගාදීන් කැළඹුනු කල්හි ආත්මාර්ථයද පරාර්ථයද නොදකී.
222. “යම්සේ නොකැළඹුනාවූ ප්‍රසන්නවූ ජලයෙහි රන්වන් බෙල්ලන්ද මත්ස්‍ය සමූහයාද, හෙතෙම දක්නේද, එපරිද්දෙන් සිත ලෝභාදීන් නොඇලුණු කල්හී ආත්මාර්ථයද පරාර්ථයද ඒ පුරුෂතෙම දකියි” කීයේය.
අනභිරතිජාතකං පඤ්චමං.
223. “මේ අඹගස පෙර වර්ණයෙන් සුගන්ධයෙන්ද, මිහිරි රසයෙන්ද, යුක්තවිය. ඒ පෙර කරණ පූජාවම ලබන්නාවූ අඹගස කවර හේතුවකින් තිත්තවූ ගෙඩි ඇත්තේවීද?
224. “දධිවාහණ නම් දෙවයෙනි, තොපගේ අඹගස කොසඹගස් පිරිවර කොට ඇත්තේ මී, අඹ මුල කොසොඹ මුල් එක්ව සිටියේය. අඹ අතු කොසොඹ අතුවලින් සෙවුනාහ. ඒ අමිහිරිවූ කොසොඹ වෘක්ෂයන්ගේ එක්ව වාසයෙන් මේ අඹ ගස අමිහිරි පල ඇත්තේ වී යයි” කීවේය.
දධිවාහනජාතකං ඡට්ඨං.
225. “උස්වූ ගසෙහි නැගී රහසිගතව මන්ත්‍රණය කරහුය බැස පහත් තන්හී සිට මන්ත්‍රණය කරව්. මෘග රාජයාද අසයි.
226. “යම්හෙයකින් සුපර්ණනම්වූ හංසාය සුපර්ණයකු හා දෙවතාත්මවූ හංසයා දෙවතාත්මවූ හංසයකු හා මන්ත්‍රණය කෙරේද, ඒ මන්ත්‍රණයෙහි කරුණු සතරකින් (හෙවත්) සතර ගුණයෙන් හීණවූ තට කවර ප්‍රයෝජනයෙක්ද, ජම්බුකය, බිලයට ඇතුළු වෙවයි,” කීයේය.
චතුමට්ඨජාතකං සත්තමං.