35. “ශක්තියෙන් ගමන් කරන්නාවූ උකුසුතෙමේ නොහොත් දිය වවුල් ගොචරයෙහි සිටියාවූ කිරිල්ල කරා වහා පැමිණියේම ඒ ශීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේය.
36. “නීතියෙන් සමෘද්ධවු පිය පරපුරෙන් ආ ගොචරයෙහි ඇලුනේ තමහට අර්ථයක් බලන්නේ පහවූ සතුරා ඇති ඒ මම සතුටුවෙමියි” කීයේය.
8. සකුණග්ඝි ජාතකය.
37. “යමෙක් ඒකාන්තයෙන් අප්‍රමාණවූ මෛත්‍රීවූ සිතින් උඩින්ද යටින්ද සරසින් දැයි සර්ව ප්‍රකාරයෙන් සියලු ලෝකයාට අනුකම්පා කරන්නේ වේද,
38. අප්‍රමාණ කොට එකඟ සිත් ඇතිව හිතවූ මෛත්‍රී චිත්තය මනාකොට වඩන ලදද, ප්‍රමාණ කරණ ලද්දාවූ යම් කාමාවචරකුශල කර්මයක් ඇද්ද, ඒ කර්මය ඒ අර්පණා නම් අවස්ථාවට පැමිණි මෛත්‍රී චිත්තයෙහි නොම සිටින්නේ යයි” කීයේය.
9. අරක ජාතකය.
39. “පෙර තොරණ අග මේ කටුසුතෙමේ උඩඟු නොවෙයි. මහෞෂධය දනුව, කකණ්ටක තෙමේ කුමක් හෙයින් උඩඟුවූ යේද,
40. “කටුසු තෙමේ නොලද විරූ අඩමස්සක් ලැබ මියුළු නුවර අධිපති ඇති වේදෙහ නම් රජහු ඉක්මවා සිතායයි” කීයේය.
10. කකණ්ටක ජාතකය.
සන්ථවවග්ගො දුතියො.
එහි උද්දානය:
අථ ඉන්දසමාන සපණ්ණකුටි - සුසිමුත්තම ගිජ්ඣ ජලාබුජකා, උපසාළ්හක භික්ඛු සලාපවරො - අථ මෙන්තවරො දස උන්නමතීති.
3. කළ්‍යාණ ධර්ම වර්ගය
41. “ජනෙන්ද්‍රය, ලෝකයෙහි යම් කලෙක්හි කල්‍යාණ ධර්ම ඇත්තේ යයි පැනවීමක් වීද, ඒ පැනවීමෙන් ප්‍රඥා සහිතවූ මනුෂ්‍යතෙමේ නොපිරිහෙන්නේය. අධ්‍යාත්මිකවූ ලජ්ජාවෙන්ද පුරුෂයෝ ප්‍රව්‍රජ්ජ්‍යා ධුරය ගනිත්,
42. “ජනප්‍රධානය, ලෝකයෙහි කළ්‍යාණ ධර්ම යයි යමක් ඇද්ද, ඒ මේ පැනවීම මෙහිලා මා විසින් අද පැමිණෙන ලදී. ඒ පැනවීමය මම බලන්නෙම් මෙහිලා පැවිදිවන්නෙමි. මෙහිලා කාම අනුභවයෙහි මාගේ කැමැත්ත නැත්තේයයි” කීයේය.
1. කළ්‍යාණ ධම්ම ජාතකය.
43. “මෘගරාජය, රජත පර්වතය කවරෙක් මහත්වූ ශබ්දයෙන් ගුගුරුවාද සිංහයෝ කුමකට ප්‍රතිනාද නොකෙරෙද්ද, මෙතෙම කිනම් එකෙක්ද?
44. “පුත්‍රය, මෘග ජාතීන්ගෙන් ඉතා පහත්වූ හිවලා හඬයි. මොහුගේ ජාතිය පිළිකුල් කරන්නාවූ සිංහයෝ නිශ්ශබ්දව හිඳිත් යයි” කීයේය.
2. දද්දර ජාතකය.
45. “පියාණෙනි, මේ මිනිසෙක් තල්ගස මුල ආශ්‍රය කොට සිටියේය. මේ ගෘහයද ඇත. එබැවින් මොහුට මේ ගෙය දෙමු.’
46. “පුතනුවෙනි, ඔහු නොකැඳවව, අපගේ ගෘහය දූෂණය කරන්නේය. සුශීලවූ බ්‍රාහ්මණයෙකුගේ මෙබඳුවූ මුහුණක් නොවේයයි” කීයේය.
3. මක්කට ජාතකය.
47. “ග්‍රීෂ්මයෙන් පීඩිත වූ පිපාසා ඇත්තාවූ තට බොහෝවූ ජලය දුනිමු. ඒ තෝ ජලය බී දැන් වඳුරු මුහුණු කොටගෙණ කිකිං යන ශබ්ද කෙරෙහිය. පවිටු ජනයා හා (හෙවත්) කෙළෙහිගුණ නොදන්නා ජනයා හා එක් නොවීම උතුම් වේ.
48. “කවර නම් වඳුරෙක් සිල්වත් යයි තා විසින් අසන ලද්දේද? දක්නා ලද්දේ හෝ වේද? දැන් වනාහී තා හිස වර්චස් සළා කිලුටු කෙරෙමි. අප වඳුරන්ගේ මෝතොමෝ ධර්මතා යයි” කීයේය.
4. දුතිය මක්කට ජාතකය.