13. “මෘගරාජය, උන්නතවූ දළ ඇත්තෙහිය, ඊශ්වරතෙම යම් දිග්භාගයකින් සේවකයා පහකරණු කැමතිද, ඒ දිශාභාගයෙන් ඒකාන්තයෙන් පහ කරයි. බලවතුන්ගේ ස්වභාව ධර්මය මෙසේ දැනගණුව. (නොහොත්) සිංහධෙනුව උස්වූ නාද ඇත්තී යම් කාරණයකින් ඒකාන්තයෙන් හිංසා කෙරේද, ඒ පරිදි තීද දණුව, සරණව සිටි තොප කෙරෙන් භය උපන්නේය.
14. “ඉදින් දුර්වලවුද මිත්‍රතෙම මිත්‍ර ධර්මයන්හී පිහිටියේ නම් හෙතෙම නෑයාදවේ. බන්ධුදවේ. හෙතෙම මිත්‍රයාදවේ. හෙතෙම මාගේ යහළුවාද වෙයි. සිංහය, ඉක්මවා නොසිතව, (හෙවත්) නින්දා නොකරව, හිවල්තෙම මාගේ ප්‍රාණය දුන් මිත්‍රයායයි” කීයේය.
7. ගුණ ජාතකය.
15. “සුහණු නම් අශ්වතෙම සෝන නම් අශ්වයා සමග යම් ප්‍රේමයක් කෙරේද, මේ ප්‍රේමය තමාගේ විෂම ස්වභාවයෙන් නොවේ. යම් සුහණු නම් අශ්වයෙක් සෝනනම් අශ්වයා හාසමාන ගෝචර ඇත්තේද, සුහණු නම් අශ්වයාද එබඳු මැයි.
16. “අශ්වයන් මත්තට දුවන ස්වභාවයෙන් හික්මීම නැති නිතර පටිය හෝ ලණුව කන ස්වභාව ඇති නරක අශ්වයා හා පවිටු බව සමවන්නේය. අසත් පුරුෂයා අසත් පුරුෂයා හා සම වන්නේයයි” කීයේය.
8. සුහනු ජාතකය.
17. “ඇස් ඇත්තාවූ ඒක රාජවූ (හෙවත්) මුළු සක්වලට ශ්‍රේෂ්ඨවූ ස්වර්ණ වර්ණවූ පෘථිවිය බබුළුවන්නාවූ මේ සූර්යතෙම නැගෙණහිර දිගින් උදාවෙයි. එහෙයින් රත්රන් බඳු පැහැ ඇතිපොළොව බබුළුවන්නාවූ ඒ සූර්යයාට නමස්කාර කරමි. ඒ සූර්යයා විසින් අද රක්ෂා කරණලද්දෙමු. දවල් දවස වාසය කරමු.
18. “සියලු ධර්මයන් නුවණින් දැන පරතෙරට ගියාවූ යම් ශුද්ධ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔව්හු මාගේ නමස්කාරය පිළිගණිත්වා. “ඒ බුද්ධාදීහුද මා රක්ෂා කෙරෙත්වා. අතීතයෙහිවූ බුදුවරුන්ට නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බෝධියටද නමස්කාර වේවා අර්හත් ඵල විමුක්තීන් මිදුනවුන්ටද නමස්කාර වේවා, තදංග විමුක්ති ආදී පඤ්චවිධ විමුක්තියටද නමස්කාර වේවා. ඒ මයුරයා මේ පිරිත තොට ගොදුරු සෙවීම පිණිස හැසිරේයයි” වදාළේය.
ඇස් ඇත්තාවූ ඒක රාජවූ (හෙවත්) මුළු සක්වලට ශ්‍රේෂ්ඨවූ ස්වර්ණ වර්ණවූ පෘථිවිය බබුළුවන්නාවූ මේ සූර්යතෙම බැසයයි. එහෙයින් රත්රන් බඳු පැහැ ඇතිපොළොව බබුළුවන්නාවූ ඒ සූර්යයාට නමස්කාර කරමි. ඒ සූර්යයා විසින් අද රක්ෂා කරණලද්දෙමු. මේ රාත්‍රිය වාසය කරමු.
සියලු ධර්මයන් නුවණින් දැන පරතෙරට ගියාවූ යම් ශුද්ධ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔව්හු මාගේ නමස්කාරය පිළිගණිත්වා. ඒ බුද්ධාදීහුද මා රක්ෂා කෙරෙත්වා. අතීතයෙහිවූ බුදුවරුන්ට නමස්කාරවේවා. ඒ බුදුවරුන්ගේ බෝධියටද නමස්කාර වේවා අර්හත් ඵල විමුක්තීන් මිදුනවුන්ටද නමස්කාර වේවා, තදංග විමුක්ති ආදී පඤ්චවිධ විමුක්තියටද නමස්කාර වේවා. ඒ මයුරයා මේ පිරිත කොට වාසය කැප කෙළේය.
9. මොර ජාතකය.