2. සංකිච්ච ජාතකය
3575. උද්යානපාල තෙම රාජ සභාවෙහි උන්නාවූ රථ ශ්රේෂ්ඨවූ බ්රහ්මදත්ත නම් රජු දැක අනතුරුව රජතෙම යමෙකුට අනුකම්පා ඇත්තේවීද, ඔහු සම්බන්ධව දැන්වූයේය.
3576. “මහරජ, ඍෂීන් අතර යහපතැයි සම්මතවූ මේ සංකිච්ච නම් තාපසතෙම ඔබගේ උයනට පැමිණියේවෙයි. ඉක්මන් ස්වභාව ඇත්තේ වහා යව, ඒ මහර්ෂීහු දැකගණුවයි” කීයේය.
3577. ඉක්බිති රථ ශ්රේෂ්ඨවූ රජතෙම ඉක්මන්ව සුදුසුවූ යානාවකට නැග මිත්රාමාත්යයන් විසින් පිරිවරන ලදුව එහි ගියේය.
3578. කශී රටවැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජ තෙම උයන් දොරටුවට පැමිණ වල්විදුනාවද නළල්පටද කඩුවද ඡත්රයද උපාහනයද යන පඤ්චරාජ කකුධභාණ්ඩයන් බහා තබා
3579. රජතෙම යානාවෙන් බැස පඤ්චරාජ කකුධ භාණ්ඩාගාරික ඇමතියා අතටදී දායපස්ස නම් උයනෙහි වැඩහුන් සංකිච්ච තාපසයන් වෙතට ගියේය
3580. ගොස් ඒ රජතෙම ඍෂීහු හා සතුටුවූයේය. ඒ සිහි කටයුතු කථාවකොට නිමවා එකත්පස්ව හිඳගත්තේය.
3581. “එකත්පස්ව හුන්නේම අනතුරුව දැන් ප්රශ්න ඇසීමට සුදුසු කාලයයි දැනගත්තේය. ඉක්බිති පාපකර්මයන් විචාරීමට පිළිපන්නේය.
3582. “ඍෂීන්ගෙන් යහපතැයි සම්මතවූ දායපස්ස නම් උයනෙහි වැඩඋන්නාවූ ඍෂි සමූහයා විසින් පෙරටුකරණ ලද්දාවූ සංකිච්ච නම් ඍෂීන් වහන්සේ මම විචාරමි.
3583. “දශකුශල ධර්මයෙහි ඉක්මවා හැසිරෙන්නාවූ මනුෂ්යයෝ පරලොව කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්මය ඉක්මවා හැසිරෙනලද්දේවේ. විචාරණලද්දාවූ මට කියවයි” රජතෙම කීයේය.
3584. සංකිච්ච නම් ඍෂිතෙම දායපස්ස නම් උයනෙහි උන්නාවූ කශී රටවැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජුට මෙසේ කීයේය. “මහරජ මාගේ වචනය අසව,
3585. “සොරු ඇත්තාවූ මගකින් යන්නහුට යමෙක් නිර්භයවූ මාර්ගය කියාද, ඉදින් ඔහුගේ වචනය කරන්නේ නම් සොරු නමැති කටු ඔහුට මුහුණ නොදෙන්නේය.
3586. “අධර්මයෙන් පිළිපන්නෙකුට යමෙක් සුචරිත ධර්මයෙන් අනුශාසනාකෙරේද, ඉදින් ඔහුගේ වචනය කරන්නේ නම්, හෙතෙම දුර්ගතියට නොයන්නේයයි” අවවාද කෙළේය.
3587. “මහරජ, දශකුශල ධර්මයතෙම සුගතියට මාර්ගයවේ. අධර්මය වනාහි දුර්ගතියට මාර්ගයවේ. අධර්මයතෙම නරකයට පමුණුවයි. ධර්මය තෙමේ සුගතියට පමුණුවයි.
3588. “මහරජ, අධර්මයෙන් හැසිරෙන්නාවූ විෂමවූ දිවි පැවතුම් ඇති මනුෂ්යයෝ පරලොව යම්ගතියකට පැමිණෙත්ද, ඒ නරකයන් මාගෙන් අසව,
3589. “සඤ්ජීව නම් නරකයද කාලසූත්ර නම් නරකයද සංඝාත නම් නරකයද, රෝරුව නම් වූ නරක දෙකක්ද, තවද අන්යවූ මහාවීචි නරකයද, තපන නම් නරකයද පතාපන නම් නරකයද,
3590. “යන මේ අටමහා නරකයෝ ඉක්මවිය නොහැක්කාහුයයි කියනලද්දාහ. රෞද්ර කර්මයෙන් ගැවැසීගත්තාවූ වෙන සොළොස් ඔසුපත් නරකයෝද වෙත්,
3591. “සියලු ඒ නරකයෝ තද මසුරන් තවන්නාහුද බලවත් දුක් ඇත්තාහුද ගිනිසිළු ඇත්තාහුද මහත් භය ඇත්තාවූ ලොමුඩැහැගන්නා ස්වභාව ඇත්තාහුද බිහිසුනු වූවාහුද භය ජනකවූවාහුද වෙත්. දුක් ඇත්තාහුද වෙත්.