20. සත්තතිනිපාතො
1. කුශ ජාතකය
3641. “ඔබගේ මේ රට ධන සහිතය. ඇත්සමූහය බලකාය සහිතය. පඤ්චරාජකකුධ භාණ්ඩ සහිතය. සියලු කැමති සම්පත් ඇත්තේවේ. මෑණියෙනි, ඔබගේ මේ රාජ්‍යය අනුශාසනා කරනු මැනව, මාගේ ප්රියවවූ ප්‍රභාවතී තොමෝ යම් තැනෙක්හිද, මම එහි යමියි” (කුස රජතෙම මවට කීයේය.)
3642. “මහරජ, ඔබ දාවල්ද රාත්‍රියෙහිද මධ්‍යම රාත්‍රී කාලයෙහිද ඍජු නොවූ සිතින් කදගෙනෙමින් මහත් දුක අනුභව කරන්නෙහිය. කුසරජතුමනි ඔබ වහා කුසාවතියට පෙරලා යව, දුර්වර්ණවූ මෙහි වසන්නහු මම නොකැමැත්තෙමියි” ප්‍රභාවතී තෙමෝ කීවාය.
3643. “එම්බා ප්‍රභාවතිය, තීගේ වර්ණයෙන් පෙළඹුනාවූ මම මේ රට හැර කුශාවතී රාජධානියට නොයන්නෙමි. ස්වකීය රටහැර තීගේ දර්ශනයෙහි ඇළුනාවූ මම මදුරජහුගේ සිත්කළුවූ ගෘහයෙහි සිත් අලවමි.
3644. “ප්‍රභාවතිය, තීගේ වර්ණයෙහි ප්රලෝභීවූ මම ක්ලෙශයන්ගෙන් මුළාවූ ස්වභාව ඇත්තෙක්ව පෘථිවියෙහී හැසිරෙමි. මෘගධෙනූන්ට බඳු මන්දලෝචන ඇත්තිය, තී විසින් මත් කරණ ලද්දේවෙමි. කොයි දිශාවෙන් ආයෙම් දැයි දිසාවක් නොදනිමි.
3645. “රනින් කළ වස්ත්‍ර හැන්දාවූ ස්වර්ණමය මෙඛලාදාම ඇති යහපත් කටි ප්‍රදෙශ ඇති ප්‍රභාවතිය, තිට කැමැත්තෙන් මෙහිම සිටිමි. මම රාජ්‍යයෙන් ප්‍රයෝජන ඇත්තේ නොවෙමියි රජතෙම කීයේය.
3646. “පින්වත් කුසරජ තුමනි, යමෙක් නොකැමැති වන්නහු කැමතිවේද, ඔහුට අවැඩක්ම වේ. මහරජ, ඔබ නොකැමැතිවූ මා කැමැති වෙහි. අකාන්තවූයේ කාන්තවූවෙකු කැමැත්තෙහියයි පරිහාස වශයෙන් කීයේය.
3647. “යම් මිනිසෙක් කැමැත්ත නැත්තාවූ හෝ කැමැත්ත ඇත්තාවූ හෝ ප්‍රියාවක් ලබාද, මෙහි ලැබීමට ප්‍රශංසා කරමි. එහි නොලැබීම ලාමක වේයයි” රජතෙම කීයේය.
3648. “යමෙක් නොකැමැත්තියක කැමති වන්නෙහි නම් හෙතෙම කිනිසිරි දැව කඩකින් ගල්මද හාරන්නෙහිය දැලින් සුලං බඳනෙහියයි” ප්‍රභාවතී තොමෝ කීවාය.
3649. “මෘදුවූ ලක්ෂණ ඇත්තිය, ස්වකීය ජනපදයෙන් පිටව ආ යම්බඳුවූ මම තීගේ සමීපයෙහි සුවයක් නොලබම්ද, ඒ මම තීගේ හෘදයෙහි ගලක් බහාලන ලද්දේයයි සිතම්.
3650. “එම්බා රාජපුත්‍රිය, යම් කලෙක බැම හකුළුවා මා බලන්නෙහිද, එකල්හි මදුරජහුගේ අන්තඃ පුරයෙහි අරක්කැමියෙක් වෙමි.
3651. “රාජපුත්‍රිය, යම් කලෙක සතුටුව සිනාසෙමින් මා බලන්නෙහිද, එකල්හි මම අරක්කැමියෙක් මෙන් නොවෙමි. එකල්හි කුසරජ මෙන් වෙමියි” රජතෙම කීයේය.
3652. “මහරජ, ඉදින් නිමිත්ත පාඨකයන්ගේ කීම වනාහි සත්‍ය වන්නේ නම් ඒකාන්තයෙන් සත්කඩක් කොට කපත්වා ඔබ මාගේ ස්වාමියා නොවන්නේම යයි” කීවාය.
3653. “ඉදින් අනික් නිමිත්ත පාඨකයන්ගේ කීම සත්‍ය නම් නොහොත් මාගේ කීම සත්‍ය නම් සිංහස්වර ඇත්තාවූ කුසරජු හැර අන්‍යවූ ස්වාමියෙක් නම් තිට නැත්තේමයයි” කුසරජතෙම කීයේය.
3654. “එම්බා කුදිය, ඉදින් ඇත්සොඬට බඳු ඌරුයුග්ම ඇති ප්‍රභාවතී තෙමෝ තීගේ කීමෙන් මා බලන්නේ නම් මම කුසාවතී රාජධානියට පැමිණ ස්වර්ණමයවූ ග්‍රීවාභරණයක් තිට කරවන්නෙමි.
3655. “එම්බල කුදිය, ඇතුන්ගේ සොඬට බඳු ඌරුයුග්මයක් ඇති ප්‍රභාවතී තොමෝ තිගේ වචනයෙන් මා හා කථා කරන්නේ නම් මම කුසාවතී රාජධානියට පැමිණ තිට ස්වර්ණමයවූ ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3656. “එම්බල කුදිය, ඇත්සොඬට බඳු ඌරුයුග්මය ඇති ප්‍රභාවතී තොමෝ මා හා සිනහ කරවන්නේ නම් මම කුසාවතී රාජ්‍යධානියට පැමිණ තිට ස්වර්ණමයවූ ග්‍රීවාභරණයක් කරවන්නෙමි.
3657. “එම්බල කුදිය, ඉදින් ඇත්සොඬට බඳු ඌරුයුග්ම ඇති ප්‍රභාවතිය ලවා මට මහත් කොට සිනහ කරවන්නේ නම් මම කුසාවතී රාජධානියට පැමිණ තිට ස්වර්ණමයවූ ග්‍රීවාභරණයක් කරවන්නෙමි
3658. “එම්බා කුදිය ඉදින් ඇත් සොඬට බඳු ඌරු යුග්ම ඇති ප්‍රභාවතිය ලවා අත්වලින් මා ස්පර්ශ කරවන්නේ නම් මම කුශාවතී රාජධානියට පැමිණ තිට ස්වර්ණමයවූ පළඳනාවක් කරවන්නෙමියි” කුශ රජතෙම කීයේය.