1. සොණක ජාතකය
3508. “සොනක නම් යහළුවා වසන තැන අසා කියන්නාවූ කවරෙකුට මම සියයක් දෙම්ද, දැක කියන්නාවූ කවරෙකුට දහසක් දෙම්ද, වැලිකෙළියෙහි පටන් යහළුවූ සොණක නම් මිත්රයා ගැන මට කවරෙක් කියන්නේදැයි” යන ගාථාව රජතෙම කීයේය.
3509. “ඉක්බිති තරුණවූ පඤ්ච චූලක නම් මානවකතෙම ප්රතිගායනා වශයෙන් මේ ගාථාව කීයේය. “මහරජ, එය අසා මට සියය දුනමැනව. සෝණක නම් තැනැත්තා දැක කියන්නාවූ මට දහසද දුනමැනව. වැලිකෙළියෙහි පටන් යහළුවූ ඔබගේ සෝනක නම් ප්රිය මිත්රයා මම කියන්නෙමියි” කීයේය.
3510. “මානවකය, කවරනම් ජනපදයක්හි රටවලද, නියම් ගම්වලද, කවර තැනෙක්හි ඒ සෝනකතෙම තොප විසින් දක්නා ලද්දේදැයි විචාරණ ලද්දාවූ මට එය කියවයි” රජතෙම කීයේය.
3511. “දේවයන් වහන්ස, ඔබවහන්සේගේම රටෙහි ඔබගේම උද්යානභූමියෙහි ඍජුවූ කඳ ඇති නීලවර්ණ ඇත්තාවූ සිත්කළුවූ වළාකුලක් බඳුවූ, රම්යවූ ඔවුනොවුන් එකට වෙලී පවත්නාවූ මහත්වූ සල්ගස් දෙකක් තිබෙත්.
3512. “ඒ සල්ගස් දෙක මුල කාමූපාදාන ඇත්තාවූ එකොළොස් ගින්නකින් දනුලබන්නාවූ ලෝක සත්වයන් අතර උපාදාන රහිතව නිවියාවූ සෝණක නම් ඒ යහළුතෙම ධ්යාන කෙරේයයි” මානවකයා කීයේය.
3513. “ඉක්බිති ඒ අරින්දම නම් රජතෙම සිව්රඟ සෙනඟ සමග පිටත්වූයේය. මාර්ගය සමකරවා සෝණක නම් තාපස තෙම යම් තැනෙක්හිද එතැනට ගියේය.
3514. “උද්යාන භූමියට ගොස් මහත්වූ වනයෙහි හැසිරෙන්නේ එකොළොස් ගින්නකින් දනු ලබන්නාවූ සත්වයන් අතර නිවී වැඩඋන්නාවූ සෝණක නම් පසේබුදුන් දුටුයේය.
3515. “ඒකාන්තයෙන් දිළිඳුවූ සඟල සිව්රක් පෙරෙව්වාවූ මව් නැත්තාවූ, පියා නැත්තාවූ මේ මුඩුමහණතෙම ගස්මුල ධ්යාන කෙරේයයි” රජතෙම කීයේය.
3516. ඔහුගේ මේ වචනය අසා සොණක නම් පසේබුදු තෙම මෙය වදාළේය. මහරජ, ආර්ය්ය මාර්ග ධර්මය නාම කයින් ස්පර්ශ කරන්නේ දිළින්දෙක් නොවේ.
3517. “මේ ලෝකයෙහි යමෙක් දශකුශල ධර්මය බැහැර කොට අකුශල ධර්මය අනුව පවතීද, මහරජ, පවිටුවූ පාපයන්ට පිහිටවූ හෙතෙම දිළිඳු නම් වේයයි” වදාළේය.
3518. “අරින්දමයයි මාගේ නාමය වේ. කශී රජයයි මා දනිත්. පින්වත් සෝණකයන් වහන්ස, මෙහි පැමිණියාවූ පින්වතුන් වහන්සේට කිම සැපවූ සයනයක් වීදැයි” රජතෙම ඇසීය.
3519. “මහරජ, ගිහිගෙන් නික්ම අනගාරික භාවයට පැමිණියාවූ ධනය නැත්තාවූ භික්ෂුහට හැමකල්හිම යහපත් වේ. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයෙහි ධන ධාන්ය තැන්පත් නොකරත්. සැලෙහිද නොදමත්. පැසෙහිද නොතබත්. අනුන් විසින් නිමවනලද්ද සොයමින් මනා පැවතුම් ඇත්තාවූ ඔව්හු එයින් යැපෙත්.
3520. “යම් හෙයකින් නිරවද්යවූ ආහාරය වැළඳියයුතු වේද, කිසියම් ක්ලේශයෙක් පීඩා නොකෙරේද, එහෙයින් අනගාරික භාවයට පැමිණියාවූ ධන නැත්තාවූ භික්ෂූහට මේ දෙවෙනි යහපතදවේ.
3521. “යම් හෙයකින් නිවී ආහාරය වැළඳිය යුතුවේද, ඒ හේතුවෙන් කිසියම් ක්ලෙශයෙක් පීඩා නොකෙරේද එහෙයින් ධන නැත්තාවූ අනගාරික භික්ෂුහට මේ තුන්වන යහපතද වේ.
3522. “මුක්තවූ හෙවත් උපස්ථායක කුලාදීන්හි ඇල්මෙන් මිදුනාවූ රටෙහි හැසිරෙන්නාවූ යමෙකුගේ කිසිත් සංගයක් විද්යමාන නොවේද, ධන නැත්තාවූ අනගාරික ඒ භික්ෂුහට මේ සතරවන යහපතදවේ.
3523. “නගරය ගින්නෙන් දනුලබන කල්හි මේ භික්ෂුහුගේ කිසිවකුත් ගින්නෙන් නොදැවෙන්නේද, එහෙයින් ධන නැත්තාවූ අනගාරික භික්ෂූහට මේ පස්වන යහපතදවේ.
3524. “යම්හෙයකින් රටෙහි සොරු පැහැරගනු ලබන කල්හි මේ භික්ෂූහුගේ කිසිවකුත් පැහැර නොගන්නේද එහෙයින් ධන නැත්තාවූ අනගාරික භික්ෂුහට මේ සවන යහපතදවේ.
3525. “යම්හෙයකින් සොරුන් විසින් රක්නා ලද මාර්ගයෙහිද අන්යවූ යම් මාර්ගොපද්රව ඇත්නම් එබඳු තන්හිද මනා පැවතුම් ඇති භික්ෂුතෙම පා සිවුරු ගෙණ සුවසේ යේද, එහෙයින් ධන නැත්තාවූ අනගාරිකවූ භික්ෂුහට මේ සත්වන යහපතදවේ.
3526. “යම්හෙයකින් භික්ෂුතෙම යම් යම් දිශාවකට පිටත්වයේද, ඒ ඒ දිශාවට අපේක්ෂාවක් නැතුවම යන්නේද, එහෙයින් ධන නැත්තාවූ අනගාරික භික්ෂූහට මේ අටවන යහපතද වේයයි” (මේ සමණභද්රක නම් ගාථාව වදාළේය.)