3. මහාබොධි ජාතකය
“ස්වාමීනි තාපසයන් වහන්ස, කවර කරුණකින් දණ්ඩක් ද කුමට අඳුන් දිවිසමක් ද කිම කුඩයක් ද කිමෙක්ද උපාහනයද කුමක් සඳහා අකුස්සක්ද පාත්‍රයද සඟල සිව්රද යන මේ සියල්ල ඉක්මන්ව ගන්නෙහිද, කවර දිශාවකට යනු කැමැත්තෙහිදැයි?”
“මහරජ, මේ දොළොස් අවුරුද්දක් ඔබ සමීපයෙහි වාසය කරණලදහ. මෙපමණ කල් පිංගල නම්වූ ඔබගේ ශුනඛයා විසින් මෙසේ මහත් ශබ්දයෙන් ශබ්ද කිරීමක් නොදනිමි.
“ඒ මේ ශුනඛතෙම පහවූ ශ්‍රද්ධා ඇති භාර්‍ය්‍යාව සහිතවූ ඔබගේ මා පිළිබඳවූ කථාව අසා දර්පිතයෙකු මෙන් හෙවත් එඩිතරවූවෙකු මෙන් ඉතා සුදු දත් විහිදුවමින් නාද කෙරේ යයි” තාපසතෙම කීයේය.
“තාපසයන් වහන්ස, යම්සේ කියන්නෙහිද, එසේ මේ දෝෂය අප විසින් කරණලදී. ඒ මම දැන් වැඩියක් පැහැදුනෙමි. බ්‍රාහ්මණය මෙහිම වාසය කරණු මැනව, අන් තැනකට නොයවයි” රජතෙම කීයේය.
“මහරජ, පළමු ඔබගේ බත සියල්ල සුදුවිය. ඉන් පසුව ඒ බතද මිශ්‍රකවිය. දැන් එය සියල්ල ලේවන් වූයේය. එබැවින් මට බැහැර යන්ට සුදුසු කාලයවේ.
“පළමු මට අභ්‍යන්තරයෙහිවූ අස්නක් වීය. ඉන්පසු මධ්‍යයෙහි හෙවත් හිණ මත්තෙහි ආසනය විය. ඉන්පසු පිටත්හි ආසනය විය. ඇද දැමීමට මත්තෙන් මම තෙමේම යන්නෙමි.
“පහවූ ශ්‍රද්ධා ඇත්තහු දිය නැත්තාවූ ලිඳක් මෙන් සේවනය කටයුතු නොවන්නේය. ඉඳින් ඒ ලිඳ නැවත සාරන්නේ නම් මඩ හා ගඳ ඇත්තාවූ ජලය ඇතිවන්නේද, එසේම පහවූ ශ්‍රද්ධා ඇත්තහු දිය නැත්තාවූ ලිඳ මෙන් සේවනය නොකටයුතුයි. ඉඳින් ඔහු නැවත සේවනය කරන්නේ නම් මඩ හා ගඳින් යුත් ජලය මෙන් පරිභොග නොකටයුතු ප්‍රත්‍ය ලබන්නේය.
‘මහරජ, එහෙයින් ප්‍රසන්නවූවෙකුම සේවනය කටයුතු වන්නේය. අප්‍රසන්නවූවහු දුරුකටයුතුය දියෙන් ප්‍රයෝජන ඇත්තේ ප්‍රසන්නවූ විලක්මෙන් ශ්‍රද්ධා ඇත්තහුම සේවනය කටයුතු වන්නේය.
“තමන් භජනය කරන්නාවූ පුරුෂයෙකු භජනය කරන්නේය. භජනය නොකරන්නහු භජනය නොකටයුතුය. යමෙක් තමන් භජනය කරන්නහු භජනය නොකෙරේද හෙතෙම අසත් පුරුෂ ස්වභාව ඇත්තෙකි.
“යමෙක් භජනය කරන්නහු භජනය නොකෙරේද, සේවනය කරන්නහු සේවනය නොකෙරේද, හෙතෙම ඒකාන්තයෙන් ගස්වල අතු ඇසුරු කළාවූ ශාඛාමෘගයෙකු මෙන් මිනිසුන්ගෙන් පවිටුවූවෙකි.
“වැඩියක් නිතර සංසර්ගයෙන්ද එක්ව නොහැසිරීමෙන්ද නුසුදුසු කාලයෙහි යමක් ඉල්වීමෙන්ද යන මේ කරුණු තුනෙන් මිත්‍රයෝ දිරත් හෙවත් මිතුරුකම් නැති වෙත්.
“එහෙයින් නිතර නොපැමිණෙන්නේය. බොහෝ කලක් ඉක්මවා බොහෝ කලකින්ද නොපැමිණෙන්නේය. සුදුසු කාලයෙහි ඉල්විය යුත්තක් ඉල්වන්නේය. මෙසේ ඇතිකල්හි මිත්‍රයෝ නොදිරත්.
“ඉතා බොහෝ කලක් එකතැන වාසය කිරීමෙන් ප්‍රිය තැනෙත්තේ අප්‍රියවේ. මහරජ, ඔබට අප්‍රියවන්ට පළමු ඔබ හා කථාකොට යන්නෙමුයි” තාපස තෙම කීයේය.
“ස්වාමීනි, ඉදින් මෙසේ යාඥා කරන්නාවූ අපගේ ඇදිලි කිරීම නොපිළි ගන්නෙහි නම් සමීපයෙහි හැසිරෙන්නාවූ අපගේ කීම නොකරන්නෙහි නම් මෙසේ ඔබගෙන් ඉල්වමි. නැවත එකවරක් මෙහි පැමිණිම කරණු මැනවැයි” රජතෙම යාඥා කෙළේය.
“ඉදින් මහරජ, මෙසේ වෙන්ව වාසය කරන්නාවූ අපට අන්තරායෙක් නොවන්නේ නම් ඔබගේද මාගේද ජීවිතය පවත්නේනම් කල්යාමෙහි දක්නෙමු නම් ඉතා මැනවැයි” තාපසතෙම කීයේය.