9. සම්බුලා ජාතකය
3008. “වටවූ ඌරු (කලවා) යුග්මයක් ඇත්තීය, මේ පර්වත කඳු රැළියෙහි සීතලින් වෙව්ලමින් එකළාව සිටින්නෙහිය. තී කවර තැනැත්තියක්ද, මිටින් ගතහැකි මධ්‍ය ප්‍රදේශ ඇත්තීය, මා විසින් විචාරණ ලද්දීවෙහිය. තීගේ නමද නෑයන්ද මට කියව.
3009. “සුන්දරිය, සිංහ ව්‍යාඝ්‍රයන් විසින් සේවනය කරණ ලද සිත්කළුවූ මේ වනය බබුළුවමින් සිටින්නාවූ තී කවර තැනැත්තියක් හෝ වෙහිද, මනා මැද පෙදෙස් ඇත්තිය, තී කවරෙකුගේ නෑ තැනැත්තියක් හෝ වෙහිද, සොඳුර, තිට වඳිමි මම අසුරයෙක්මි. තිට නමස්කාර වේවායි. අසුරයා කීයේය.
3010. “අසුරය, කශී රජහුගේ යම් පුත්රයෙක්වේද, සොත්ථි සේනයයි ඔහු දනිත්. මම ඔහුගේ භාර්ය්යාවූ සම්බුලා නම් වෙමි. මෙසේ දැනගණුව, වඳිමි. තට යහපතක් වේවා මම සම්බුලා නම් වෙමි. තට නමස්කාර වේවා.
3011. “තට යහපතක්වේවා, වේදෙහි පුත්‍රතෙම රෝගාතුරව වනයෙහි වෙසෙයි. එකළාවූ මම රෝගයෙන් පෙළුනාවූ එකළාව උන් ඔහුට උපස්ථාන කෙළෙමි
3012. “මමද වනයෙහි ඇවිද සොයාගෙණ මී හා මෘගයන් කා ඉතිරි කළ මස්ද යම් කලක හැරගෙණයම්ද, එය අනුභව කරන්නේවෙයි. ඔහුට අද ඒකාන්තයෙන් එය නොලැබී තැවේයයි (සම්බුලාව කීය.)
3013. “සම්බුලාවෙනි, රෝගාතුරවූ දිරීමට පත්වූ ඒ රාජ පුත්‍රයා සමග වනයෙහි කුමක් කරන්නෙහිද, මම තිට ස්වාමි පුරුෂයාවෙමියි (අසුරයා කීයේය.)
3014. “ශෝකයෙන් පීඩිතවූ දුර්ගතවූ ශරීර ඇති මාගේ කවර රූපයක් විද්යමානවේද, අසුරය තට යහපතක්වේවා මට වඩා විශිෂ්ට රූ ඇති අන් අඟනක් සොයාගණුවයි (සම්බුලාව කීය.)
3015. “සුන්දරිය, එව මේ පර්වතයට නැගෙව, මාගේ භාර්‍ය්‍යාවෝ සාර සියයක් වෙත්. සියලු කාමසම්පත්තීන් සමෘද්ධවූ තී ඔවුන්ට ප්‍රධාන වෙව,
3016. “තාරකාබඳු ආලෝක ඇත්තිය, යම්කිසිවක් සිත කැමැත්තෙහිද, ඒ සියල්ල ඒකාන්තයෙන් මට බොහෝවේ. අද මා සමග අභිරමණය කරව,
3017. “සම්බුලාව ඉදින් නුඹ මාගේ මෙහෙසි බව නො කරන්නෙහි නම් උදෑසන ආහාරය පිණිස සුදුසුය මාගේ කෑ යුත්ත වන්නෙහියයි හඟිමි.
3018. “ජටා සතක් ඇති රෞද්‍රවූ පිඟුවන්වූ මිනිසුන් කන්නාවූ රකුසුතෙම වනයෙහි පිහිටක් නොදක්නාවූ ඒ සම්බුලාවද අත අල්වාගත්තේය.
3019. “රෞද්‍රවූ ක්ලෙශ වශයෙන් ආමිෂයෙහි ලොල්වූ ඇස් ඇති පිශාචයා විසින් යටත් කරණලද සතුරාගේ වසඟයට පැමිණියාවූ ඒ සම්බුලාවද ස්වාමියා අනුවම ශොක කරයි
3020. “මාගේ ස්වාමි පුත්‍රයාගේ සිත අන්පරිද්දකින් වන්නේයයි යම්බඳු දුකක්වේද, රාක්ෂස තෙම මා කන්නේය යන යම් දුකක් වේනම් මෙය මට එබඳු දුකක් නොවේ.
3021. “මේ ලෝකයෙහි දෙවියෝ නැත්තාහ. ඒකාන්තයෙන් අධිගෘහිතව වාසය නොකරත්. ඒකාන්තයෙන් ලොව රක්නාවූ දෙවියෝ නැත්තාහුය. දරුණුකම් කරන්නාවූ සංයම නැත්තවුන් වළකන්නාහු ඒකාන්තයෙන් නොම ඇත්තාහුයයි (සම්බුලා තොමෝ වැළපුනාය.)
3022. “මෝතොමෝ යශස් ඇත්තාවූ ශාන්තවූ විෂමාචාර නැත්තාවූ ගින්නක්මෙන් උග්‍රතේජස් ඇත්තාවූ ස්ත්‍රීන් අතුරෙන් උතුම් තැනැත්තියෙකි. රාක්ෂසය, තෝ ඉදින් ඒ කන්‍යා ස්ත්‍රිය කරන්නෙහි නම් තාගේ මුදුන සත්කඩක්ව පැලෙන්නේය. තෝ මේ පතිව්රතාව නොදවව, මුදාහරුව, ඕතොමෝ පතීව්රතාවකැයි (ශක්‍ර තෙම කීයේය.)
3023. “රකුසාකෙරෙන් මිදුනාවූ ඒ සම්බුලාවද ගොදුරු ගෙණ එන්නාවූ පක්ෂිධෙනුවක් කැදැල්ලට එන්නාක් මෙන්ද නික්ම ගියාවූ වස්සා ඇති ගවගාලට එන්නාවූ ධෙනුවක් මෙන්ද අසපුවට ආයේය.
3024. “ශෝකයෙන් හටගත් උණුසුමෙන් මත්වූ ඇස් ඇති යශස් ඇති සම්බුලානම් ඒ රාජ පුත්‍රී තොමෝ ඒ වනයෙහි ස්වාමියා නොදක්නී වැළපුනීය.
3025. “ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ඍෂිවරයන්ද මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නී මම නුඹ වහන්සේලාගේ සරණ ගියාවෙමි.
3026. “සිංහයන්ද ව්යාඝ්රයන්ද වනයෙහි සෙසු යම් මෘග කෙනෙක් ඇත්නම් ඔවුන්ද වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම තොපගේ සරණ ගියාවෙමි.
3027. “තෘණ වර්ගද ලතා වර්ගද ඖෂධ ජාතීහුද පර්වතයන්ද වනයන්ද මම වඳිමි. රාජපුත්‍රයා නොදක්නීවූ මම තොපගේ සරණ ගියාවෙමි.