10. ගන්ධතින්දුක ජාතකය
3043. “ප්‍රමාද නොවීම නිවනට කරුණු වේ ප්‍රමාදවීම මරණයට කරුණුවේ. අප්‍රමාද වූවාහු නොමියනු ලබත්. මහරජ, යම් කෙනෙක් ප්‍රමාද වූවාහුද, ඔව්හු මළවුන්වැනි වෙත්.
3044. මහරජ, ත්‍රිවිධ මදයෙන් ප්‍රමාදය හටගනියි, ප්‍රමාද හේතුවෙන් විනාශය හටගණියි. විනාශ හේතුවෙන් ද්වේෂයෝ හටගණියි. එබැවින් මදයට නොපැමිණේවා.
3045. ප්‍රමාදවූ බොහෝ රජදරුවෝ ධනයද රටද යන මෙයින් පිරිහුනාය. තවද යම් අධිපතීහු ගමින් පිරිහුනාය. ප්‍රව්‍රජිතයෝ පැවිදි පිළිවෙතින් පිරිහුනාහුය.
3046. රට වර්ධනය කරන්නාවූ මහරජ, ප්‍රමාදවූ රජහුගේ රටෙහි සියලු සම්පත් විනාශවෙත්. රජුට එය දුකයයි කියනු ලැබේ,
3047. මහරජ, සීමාව ඉක්මවා ප්‍රමාද වන්නෙහි නම් මෙතෙම පැරණි රජුන්ගේ ධර්මය නොවේ සමෘද්ධවූද සම්පත්තීන් පිරුණාවූද ඒ ජනපදය සොරු විනාශ කෙරෙත්.
3048. ඒ ප්‍රවේනි රක්නා පුත්‍රයෝ නොවන්නාහ. හිරණ්‍යාදී ධනය නොවන්නේය. ඇල් හා සෙසු වී ආදී ධාන්‍යය නොවන්නේය. රට පැහැර ගනු ලබන කල්හි සියලු සම්පත් වලින් පිරිහෙන්නේය.
3049. “සියලු සම්පතින් පිරිහුනු ක්ෂත්‍රිය රජවූද ඔහු නෑයෝද මිත්‍රයෝද යහළුවෝද බුහුමන් කටයුතුයයි නොහඟිත්.
3050. “ඇතරුවෝද, සේනාවන්හි වූවෝද, රථිකයෝද, පාබලසේනාවෝද යන ඔහු අනුව ජීවත්වන්නාහු ඔහුට බුහුමන් කටයුතුයයි නොහඟිත්.
3051. “මනාව විධාන නොකරණලද කර්මාන්ත ඇති අඥානවූ නපුරු මන්ත්‍රණ ඇති මන්ත්‍රීන්ගෙන් යුක්තවූ නුවණ නැති ඔහු සර්පතෙම දිරාගිය හැව දමන්නාක් මෙන් ලක්ෂ්මී තොමෝ හැර දමයි.
3052. “මනාව විධාන කරණ ලද කර්මාන්ත ඇති සුදුසු කල්හි වීර්‍ය්‍ය කරණ සුළුවූ අනලස්වූ රජුට සියලු සම්පත් වෘෂභයා සහිත ගවයන් මෙන් අභිමුඛ වෙමින් වැඩෙත්.
3053. “මහරජ, රටෙහිද, දනව්වෙහිද, පැවතුම් ඇසීමෙහි හැසිරෙව, එහි දැකද අසාද, ඉන්පසු එය පිළිපදින්නෙහියයි (රුක් දෙවියා අවවාද කෙළේය.)
3054. “යම්සේ අද මම කටුවකින් මිදුනා ලද්දේ දුක් විඳිම්ද, මෙසේ පඤ්චාල රජතෙම යුද්ධ භූමියෙහි හීයෙන් විදුනා ලද්දේ දුක් විඳියි (එක්තරා ගම්වැසි මහළු මිනිහෙක් කීයේය.)