7. දකරක්ඛසපඤ්හො
ඉදින් දිය සමුදුරෙහි ගසාගෙන යන තොප සත්දෙනා අතුරෙන් මනුෂ්‍ය බිල්ලක් සොයන රකුසෙක් නමක් ගන්නේ නම්, අනුපිළිවෙළින් කවුරුන් දී දිය රකුසාගෙන් මිදෙන්නෙහිද.
පළමුව මව දෙන්නෙමි. භාර්යාව දී ඊටපසු සොහොයුරා දෙන්නෙමි. ඉන්පසු යහළුවා දී පස්වැන්නා වූ බ්‍රාහ්මණයා දෙන්නෙමි. සයවැනිව මා දෙන්නෙමි. එහෙත් මහෞෂධ පණ්ඩිතයන් නොදෙන්නෙමි.
තොපගේ මව තොප පෝෂණය කළාය. බොහෝ කල් අනුකම්පා කළාය. තොප කිපුණ විට ඈ බිය වන්නීය. නුවණැත්තිය. වැඩ වැඩ දන්නිය. අනෙකක් උපමා කොට ඈ මරා දැමීමෙන් තොප කෙසේ මිදෙන්නෙහිද.
එබඳු වූ පණ දුන්, තමාගේ ලෙයින් උපන්, ගැබ දරා සිටි මව කිනම් දෝෂයක් නිසා දිය රකුසාට දෙන්නෙහිද.
ඈ තරුණියක මෙන් අලංකාර දරයි. ආභරණ පළඳියි. දොරටුපාලයන් හා භටයන් සමඟ නිතර සිනාසෙයි.
එමෙන්ම ඈ අන්‍ය රජුන්ට තෙමේම රහස් පණිවිඩ යවයි. ඒ දෝෂය නිසා මව දිය රකුසාට දෙන්නෙමි.
ස්ත්‍රී සමූහයා අතර උතුම් වූ, ඒකාන්තයෙන් ප්‍රිය වචන ඇත්තා වූ, අනුව ගියා වූ, සිල්වත් වූ, ඡායාව මෙන් වෙන් නොවන්නා වූ...
ක්‍රෝධ නැත්තා වූ, නුවණැත්තා වූ, පණ්ඩිත වූ, අර්ථ දකින්නා වූ උබ්බරී දේවිය කිනම් දෝෂයක් නිසා දිය රකුසාට දෙන්නෙහිද.
ක්‍රීඩා රතියට පැමිණියා වූ, අනර්ථයට වසඟ වූ ඈ මා සතු ධනය සිය පුතුන් සඳහා ඉල්ලයි.
රාගයෙන් ඇලුණා වූ මම ඈට උස් පහත් බොහෝ ධනය දෙමි. ඉතා දුකසේ දිය යුතු දේ දී පසුව දොම්නස්ව ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරිය දිය රකුසාට දෙන්නෙමි.
යමෙකු විසින් සුදුසු ජනපද ගෙනෙන ලද්දේද, පිළිගැනීම් කරන ලද්දේද, පර රාජ්‍යවලින් බොහෝ ධනය බලහත්කාරයෙන් ගෙනෙන ලද්දේද...
දුනුධරයන්ට උතුම් වූ, ශූර වූ, තියුණු නුවණැති භාරත කුමරු කිනම් දෝෂයක් නිසා දිය රකුසාට දෙන්නෙහිද.
මා විසින් සුදුසු ජනපද ගෙනෙන ලද්දේය, පිළිගැනීම් කරන ලද්දේය, පර රාජ්‍යවලින් බොහෝ ධනය බලහත්කාරයෙන් ගෙනෙන ලද්දේය.
දුනුධරයන්ට උතුම් වූ, ශූර වූ, තියුණු නුවණැති ඒ කුමරුවා, මා නිසා සැපට පත් රජතෙම දරුවා යයි මා ඉක්මවා සිතයි.
ආර්යාවෙනි, හෙතෙම පෙර සේ මට උපස්ථානයට පවා නොඑයි. ඒ දෝෂය නිසා භාරත කුමරු දිය රකුසාට දෙන්නෙමි.