5. සම්භව ජාතකය.
2850. “එම්බා සුචීරථ බ්‍රාහ්මණය, අපි මේ ඉඳිපත් නුවර රාජ්‍යයටද කුරු රට අධිපති බවටද පැමිණියෙමු. මහත් බවට පැමිණෙන්ට මේ පෘථිවිය දිනන්ට කැමැත්තෙමි.
2851. “හෙද ධර්මයෙන් වේ. අධර්මයෙන් නොවේ. අධර්මය තෙම මට රුචිනොවේ. ශුචීරථනම් බ්‍රාහ්මණය, රජගේම ධාර්මිකවූ චරිතය කටයුතුවේ.
2852. “බ්‍රාහ්මණය, යම් හෙයකින් මේ ලෝකයෙහිද නින්දා ලබන ලද්දාහු නොවෙමුද, යමකින් පරලොව නින්දා ලබන ලද්දාහු නොවෙමුද යමකින් දෙවි මිනිසුන් අතර යශසට පැමිණෙමුද, එය කියව,
2853. ‘බ්‍රාහ්මණය, යම්බඳුවූ මම ඵල විපාක නමැති අර්ථයද එයට හේතුවූ ධර්මයද සමාදන්ව පවතින්ට කැමැත්තෙම්ද බ්‍රාහ්මණය ඒ අර්ථයද ධර්මයද විචාරණ ලද්දේ මට කියවයි (රජතෙම) ධර්මයාග නම් ප්‍රශ්නයක් ඇසුවේය.
2854. “මහරජ, ඔබ අර්ථයද ධර්මයද කරන්ට කැමැත්තෙහිය යන යමක්වේද, මෙය ප්‍රකාශ කරන්ට විධුර පණ්ඩිතයන් හැර අනිකෙක් සුදුසු නොවේයයි (ශුචීරථ බ්‍රාහ්මණතෙම කීයේය.)
2855. “ශුචිරථ බ්‍රාහ්මණය මෙහි එව, මා විසින් මෙහෙයන ලද්දේ විධුර පණ්ඩිතයා වෙත යව, රත්‍රං නිෂ්ක දහසක් හැර ගෙණයව, අර්ථයද ධර්මයද අනුශාසනා කළහුට පූජාවශයෙන් මෙය දෙවයි, රජතෙම කීයේය.
2856. “ඒ භාරද්වාජ ගොත්‍රයෙහිවූ ශුචිරථ බ්‍රාහ්මණතෙම විධුරපණ්ඩිතයාගේ සමීපයට ගියේය. මහා බ්‍රාහ්මණතෙම ස්වකීය ගෘහයෙහි ආහාර අනුභව කරන්නාවූ ඔහු දුටුවේ යයි වදාළේය.
2857. “මම යශ පිරිවර ඇත්තාවූ කොරව්‍ය රජහුගේ එවන ලද දූතයෙක් වෙමි. යුධිට්ඨිල ගොත්‍රයෙහිවූ ධනඤ්ජය රජ තෙම අර්ථයද ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්‍රශ්නය අසවයි මට කීයේය. විධුර පණ්ඩිතය, අර්ථයද ධර්මයද අසනලද්දාවූ ඔබ එය මට කියවයි ශුචීරථතෙම කීයේය.
2858. “බ්‍රාහ්මණය, මට මහජනයාගේ නොයෙක් සිතිවිලි නමැති ගඟ වසන්නෙමියි කටයුත්තෙක් විය. ඒ මහ සයුර නොවසන්ට නොහැකි වෙමි. එහෙයින් කෙසේනම් එබඳු අවකාශයෙක් වන්නේද, අර්ථයද ධර්මයද විචාරණ ලද්දාවූ මම තොපට කියන්ට නොහැක්කෙමියි, කීයේය.
2859. “බ්‍රාහ්මණය, තමහට ජාතකවූ මාගේ ඖරස පුත්‍රවූ භද්‍රකාර නම් මාගේ පුත්‍රයෙක්වේ. ඔබ ඔහුවෙත ගොස් ඒ අර්ථයද ධර්මයද විචාරවයි විධුර පණ්ඩිතතෙම කීයේය.
2860. “ඒ භාරද්වාජ ගොත්‍රයෙහිවූ බ්‍රාහ්මණතෙම භද්‍රකාර නම් මානවකයා වෙතට ගියේය. මහාබ්‍රාහ්මණතෙම ස්වකීය ගෘහයෙහි උන්නාවූ ඔහු දුටුවේයයි වදාළේය.
2861. “මම යශ පිරිවර ඇත්තාවූ කොරව්‍ය රජුගේ සමීපයෙන් එවන ලද දූතයෙක්මි. යුධිෂ්ඨිල ගොත්‍රයෙහිවූ ඒ රජ තෙම අර්ථයද ධර්මයද හෙවත් ධර්මයාග නම් ප්‍රශ්නය විචාරවයි මට කීයේය. භද්‍රකාර නම් මානවකය ඔබ ඒ අර්ථයද ධර්මයද මට කියවයි ශූචිරථ බ්‍රාහ්මණතෙම කීයේය.