4. ඡද්දන්ත ජාතකය
97. “රන්වන් ශරීර ඇත්තිය, කුමකට ශොක කෙළෙහිද, උතුම් ශරීර වර්ණ ඇත්තිය කුමක් හෙයින් පඬුවන්වූයෙහිද, මහත්වූ ඇස් ඇත්තිය අත් වලින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මළානිකවූයෙහි දැයි (රජතෙම ඇසීය.)
98. “මහරජ, සිහිනයෙන් මට දොළක් පැමිණියේය. මාගේ ඒ දොළ යම්බඳුද, හෙතෙම පහසුවෙන් ලැබෙන ස්වභාව ඇත්තෙක් නොවේම” යයි (බිසව කීවාය.)
99. “එම්බා නන්දනිය, මේ ලෝකයෙහි මිනිසුන් අයත්වූ යම්කිසි කාම සම්පත් කෙනෙක් ඇද්ද, ඒ සියල්ල මට බොහෝ සුලභ වෙත්. මම තිට දොළදෙමියි (රජතෙම කීයේය)
100. “දේවයන්වහන්ස, ඔබගේ රාජ්යයෙහි යම්කිසි වැදි කෙනෙක් වෙත් නම් ඔව්හු කැඳවත්වා. මාගේ දොළ යම්බඳු වේද, මම එය මේ වැද්දන්ට කියන්නෙමියි බිසව කීවාය.”
101. “එම්බා දේවිය, මේ ඒ වැද්දෝ දක්ෂවූවාහු භය නැත්තාහු වෙත්. වනාන්තර දන්නාහුද මෘගයන් හඳුනන්නා හුදවෙත්. මේ සියල්ලෝම මා සඳහා හරණලද දිවි ඇත්තෝද, වෙත්යයි රජතෙම කියේය.”
102. “මෙහි යම්තාක් වැදිපුත්රයෝ රැස්වූවාහුද, ඒ සියල්ලෝ අසව්. මම ස්වප්නයෙහි ෂට්වර්ණ දළ ඇති ශ්වෙත වර්ණවූ ඇතෙකු දුටුවෙමි. ඔහුගේ දළ වලින් මට ප්රයෝජන ඇත්තේය. එය නොලැබූ කල්හි මාගේ ජීවිතය නැතැයි බිසව කීවාය.
103. “එම්බා දේවිනි, අපගේ පියවරුන් විසින්ද මුත්තනුවරු විසින්ද එබඳු ෂට්වර්ණ දළ ඇති ඇතෙක් දක්නාලදැයි නොඅසනලදී. රාජපුත්රීතොමෝ ස්වප්නයෙහි යම් ඇතෙකු දිටීද, ඒ ඇත් රජතෙම යම්බඳු නම් එය අපට කියව.
104. “ස්වප්නයෙහි යම් ෂට්වර්ණ දළ ඇති ඇතෙකු දිටීද, ඒ ඇත්රජතෙම සතර දිසාවය. සතර අනුදිසාවය, උඩය, යටය යන මේ දස දිසාවන් ගෙන් කවර දිසාවක සිටීදැයි වැද්දා ඇසීය.
105. “මෙතැනින් ඍජුව උතුරු දිශාවෙහි මහත්වූ පර්වත සතක් වෙත්. ඉන් සයක් ඉක්මවා මනාව පිපුනාවූ ගස් ඇති කිඳුරන්ගෙන් ගැවසීගත්තාවූ සුවර්ණ පාර්ශව නම් මහත් පර්වතයක් වෙයි.
106. “කිඳුරන්ගේ වාසභවනයවූ ඒ පර්වතයට නැගී පර්වත පාමුල බලව, එකල්හි මේඝයකට සමාන වර්ණ ඇති අටදහසක් උඩින් පහළට ඇදෙන මුල් ඇති මහත් නුගරුකක් දක්නෙහිය.
107. “එහි ඒ නුග ගස යට ෂට්වර්ණ දළ ඇති සතුරන් විසින් මැඩලිය නොහැකි සියල්ල සුදුවූ ඇත් රජතෙම සිටියි. රථ හිස සමාන දළ ඇති වාතයටබඳු වේගයෙන් ගොස් සතුරන්ට පහරදෙන්නාවූ අටදහසක් හස්තීහු ඔහු රකිත්.
108. “ඒ ඇත්තු බිහිසුනු ලෙස ප්රශ්වාස කරමින් සිටිත්. කම්පාවූ වාතයටද කිපෙත්. එහි මනුෂ්යවූවෙකු වනාහි දැක හළුකරන්නාහුය. ඔහුගේ ධූලිවත් ඉතිරි නොවන්නේයයි දේවි තොමෝ කීවාය.
109. “එම්බා දේවීනි, මේ රාජ කුලයෙහි රත්තරණින් කරණලද්දාවූ මුතු, මැණික් වලින් කරණලද්දාවූද වෙරළු මිණියෙන් කරණලද්දාවූද, බොහෝවූ ආභරණයෝ ඇත්තාහ. දළකඩ පළඳනායෙන් කුමක් කරන්නෙහිද, ඔබ ෂට්වර්ණ දළ ඇති ඇත් රජ මරවනු කැමැත්තීවෙහිද, නොහොත් වැදි පුත්රයන් මරවනු කැමැත්තෙහිදැයි වැද්දා ඇසීය.
110. “එම්බා වැදිපුත්රය, ඒ මම හටගත් ඊෂ්යා ඇත්තී දුකින් පෙළුනීද විමි. එය සිහිකරන්නී මම මත්තෙහිද වියලෙන්නෙමි. වැදිපුත්රය, මාගේ මේ කටයුත්ත කරව, තොපට ගම්වර පසක් දෙන්නෙමියි දේවී තොමෝ කීවාය.
111. “දේවීනි, ඒ හස්ති රාජතෙම කොතනක වෙසේද, කොතැන්හි සිටීමට පැමිණේද, ස්නානයට ගියාවූ මොහුගේ ගමන් වීථිය කවරක්වේද, කෙසේනම් හෙතෙම ස්නානය කෙරේද ඒ ඇතුගේ ගතිය කෙසේ දනිමුදැයි වැද්දා ඇසීය.
112. “ඒ වාසස්ථානයෙහිම නුදුරුතන්හි සිත්කළුවූද මනාකොට ඇත්තාවූද මහත්වූ ජලය ඇත්තාවූද බමර සමූහයාගෙන් ගැවසීගත්තාවූද ඒ පුෂ්කරණියක් හෙවත් ඡද්දන්ත නම් විල ඇත්තේය. මේ විලෙහි වනාහි ඒ ඇත්රජ තෙම ස්නානය කරයි.
113. “හිස සහිතව ස්නානය කළාවූ උපුල් මල් දරන්නාවූ සියල්ල සුදුවූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් සර්ව සුභද්රා නම් මෙහෙසිය පෙරටුකොට ගෙණ ස්වකීය නිවාස ස්ථානයට පැමිණේයයි දේවීතොමෝ කීවාය.
114. ‘වැදිතෙම එහිදීම දේවියගේ වචනය උගෙණ හියවුරුද මහදුන්නද ගෙණ හෙතෙම මහත්වූ පර්වත හත ඉක්මවා ස්වර්ණපාර්ශව නම් මහා පර්වතය දැනගත්තේය.