යම් ඤාති සමූහයක් සොයමින් අපි පර්වතවලද වනාන්තරවලද හැසුරුණෙමුද, මා විසින් ලබනලද ඒ මේ ඤාතීන් සොයමින් හැසුරුණෙමි.
මේ අල වර්ගද ගෙඩි වර්ගද බොහෝවේ. බොහෝවූ මේ කෑ යුතු දෙයද වේ. මේ පර්වත නදීහුද සිත් කළුවෙත්. අපට පහසුවූ වාසස්ථානයක් වන්නේය.
නිරුත්සාහවූ සැක නැත්තාවූ ශෝකයක් නැත්තාවූ කොයිනුත් බියක් නැත්තාවූ මම සියලු නෑයන් සමග මෙහිම වාසය කරන්නෙමියි” තච්ඡ ශූකරතෙම කීයේය.
එම්බා තච්ඡ ශූකරය, අන්‍යවූ ලෙනක් සොයව, අපට මෙහි සතුරෙක් ඇත්තේය. ඒ සතුරා මෙහි පැමිණ හොඳ හොඳ ඌරන් මරාගණීයයි” කීවාහුය.
අපට මෙහි කවරෙක් සතුරුවේද, මනාව එක්වූ නොමැඩිය හැක්කාවූ නෑයන් කවරෙක් මඩීද, මාවිසින් විචාරණ ලද්දාවූ තෙපි එය මට කියව්.
තච්ඡය, උඩුකුරුව ගියාවූ රේඛා ඇති මෘගරාජවූ බල ඇත්තාවූ දළ ආයුධකොට ඇති ව්‍යාඝ්‍ර මෘගයෙක් වේ. හෙතෙම මෙහි පැමිණ හොඳ හොඳ ඌරන් මරාගණීයයි” කීවාහුය.
අපට දළ නැත්තාහු නොවෙත්. බලයද ශරිරයෙහි මනාව හටගත්තේය. අපි සියල්ලෝ සමගිව තනිවවූ ඔහු වසඟ කරන්නෙමුයි” (තච්ඡයා කීයේය.)
එම්බා තච්ඡකය, සිතට කා වදින්නාවූ කණට සුව එළවන්නාවූ වචනයක් කීයෙහිය. යමෙකුත් සටනෙහි පැනයන්නේ නම් ඔහුද පසුව නසම්හයි” කීවාහුය.
එම්බා ව්‍යාඝ්‍රය, යම්බඳුවූ නුඹ සූකර සමූහයා මැදට පැමිණ බැගෑවූවෙකු මෙන් අද ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙහිද, නැතහොත් සිතමින් සිටිනෙහිද, ඒ නුඹ විසින් සියලු සතුන්ට අභය දෙන ලදද, නුඹගේ දළ නැද්ද, මෘග වීර්‍ය්‍ය නැද්දැයි” ජටිලතෙම ඇසීය.
තාපසයාණෙනි, මාගේ දළ නැත්තාහු නොවෙත්. ශරීර ශක්තියද මනාව පිහිටියේය. එතකුදුවුවත් සමගිව එකතුවූ නෑයන්ද දැක බියවීමි. එහෙයින් වනයෙහි තනිවූ මම කල්පනා කෙළෙමි.
මේ ඌරෝ වනාහි පෙර භයින් මැඩුනාහු වෙන වෙනම ලෙන් සොයන්නාහු දිශාවෙන් දිශාවට යෙත්. අද ඔව්හු යම්තැනක රැස්ව සිටියාහු මා විසින් මැඩලිය නොහැක්කාහු වෙද්ද, දැන් ඔව්හු එකතැන රැස්ව වසත්.
පිරිස් නායකයෙකුගෙන් යුක්තවූ එකතුවූ සමගි කථා ඇත්තාවූ ඒ සියල්ලෝ මට හිංසා කරන්නාහුය. එහෙයින් අද මම ඔවුන් ප්‍රාර්ථනා නොකරමියි” කීයේය.
එකම ශක්‍රතෙම අසුරයන් දිනයි. එකලාවම උකුසු තෙම පක්ෂීන් අල්වාගෙණ නසයි. තනිවම ව්‍යාඝ්‍රතෙමේ මෘග සමූහයා මැදට පැමිණ හොඳ හොඳ මෘගයා මරාගණියි. ඔහුගේ බලය එබඳුම යයි” ජටිලයා කීයේය.
සමගිවූ නෑයන් සහිතවූ ව්‍යාඝ්‍ර බඳුවූවන් ශක්‍ර තෙමේද නොම වසඟ කරන්නෙහිය. උකුස්සාද වසඟ නොකරන්නේය. මෘගාධිපති ව්‍යාඝ්‍රතෙමේද වසඟයෙහි පවත්වන්ට නොහැකි වේයයි” කීයේය.
සමූහ ඇත්තාවූ පිරිවර සමග හැසිරෙන්නාවූ කුම්භීලක නම් පක්ෂීහු සතුටු වෙමින් එකතුව ගොදුරු සොයමින් අහසට නඟිත්. ගොදුරු ගෙණ අහසින්ද යෙත්.”
එසේ අහසින් යන්නාවූද ඔවුන්ගෙන් මෙහි එකෙක් ඉවත්ව යේද, උකුසු තෙම ඌද ගසා ගණියි. මෝතොමෝ ව්‍යාඝ්‍රයන්ගේ ස්වභාව ගතිය යයි’ කීයේය.
ආමිෂයෙහි ලොල්වූ ඇස් ඇති රෞද්‍රවූ ජටිලයා විසින් උත්සාහවත් කරණලද දළ ඇති ව්‍යඝ්‍රතෙම පෙර මෙන් සිතමින් දළ ඇති හූරන් වෙතට පැන්නේය.
බොහෝවූ නෑයෝ යහපත, වනයෙහි හටගත්තාවූ වෘක්ෂද බොහෝවූවාහු යහපත. සමගිවූ හූරන් විසින් එක ගමනෙහිදීම ව්‍යාඝ්‍රතෙම නසන ලද්දේයයි” (වෘක්ෂ දේවතාවා කීය.)