නොයෙක් රටින් පැමිණියාවූ වෙළෙන්දෝ රැස්ව එකෙකු ප්‍රධානියා කොට ධනය හැරගෙණ වෙළඳාමට ගියාහුය.
ඒ වෙළෙන්දෝ ආහාර නැත්තාවූ ජලය නැත්තාවූ ඒ කාන්තාරයට පැමිණ සිත් කළුවූ සිහිල් සෙවන ඇති මහත්වූ නුග රුකක් දුටුවාහුය.
මෝහයෙන් වැසුනාවූ අඥානවූ ඒ වෙළෙන්දෝද, එහි නුගරුක සෙවණෙහි හිඳ මෙසේ සිතුවාහුය.
වෙළඳුනි, මේ වෘක්ෂය තෙම තෙත්වූවාක් මෙන්වේ. මෙහි ජලයද වැගිරේ. එබැවින් මේ ගසේ පළමු අත්ත අපි සිඳිමු.
ඒ ශාඛාවද සිඳින ලද්දීම නොකැලත්වූ නිර්මලවූ ජලය වැගුරුවේය. ඒ වෙළෙන්දෝ එහි කැමතිතාක් ස්නානය කොටද පානය කොටද සතුටුවූහ.
මෝහයෙන් මුළාවූ අඥානවූ ඒ වෙළෙන්දෝ දෙවනුව මෙසේ සිතූහ. එබැවින් අපි මේ වෘක්ෂයාගේ දකුණු අත්ත සිඳීමුයි
ඒ දකුණු අත්තද සිඳින ලද්දීම බොහෝවූ මස් සහිත ඇල් සාලේ බතද දිය නුමුසු කිරිබත් වැනි කොමුපිඩුද අවුළුපත්ද මුද්ගාදී සූපයන්ද වැගුරුවේය.
ඒ වෙළෙන්දෝ එහි භෝජනය කොට කැමතිතාක් අනුභව කොට සතුටුවූහ. මෝහයෙන් මුළාවූ අඥානවූ ඒ වෙළෙන්දෝ තුන්වෙනුව සිතුවාහුය.
“එබැවින් අපි මේ වෘක්ෂයාගේ පශ්චිම ශාඛාව සිඳිමුයී වෙළෙන්දෝ සිතූහ. ඒ ශාඛාවද සිඳින ලද්දීම අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්‍රීන් වැගුරුවේය.
තවද උන් අතුරෙන් එක එක වෙළෙන්ඳාම විසිතුරු වස්ත්‍රාභරණ ඇති අවුණනලද මිණි කොඩොල් ඇති එක එක ස්ත්‍රියද ගැල් නායකයා වෙත ස්ත්‍රීන් විසි පස්දෙනෙක්ද වූහ.
ඒ වෘක්ෂය සෙවනෙහි හාත්පස පිරිවැරූහ. ඒ වෙළෙන්දෝ ඒ ස්ත්‍රීන් සමග කැමතිතාක් පරිචරණය කොට සතුටු වූහ.
මෝහයෙන් මුළාවූ අඥාන වෙළෙන්දෝ එබැවින් මේ වෘක්ෂයාගේ උතුරෙහිවූ අත්ත අපි සිඳිමුයි සතර වෙනුව සිතුවාහුය.
ඒ ශාඛාවද සිඳින ලද්දීම බොහෝවූ මුතුද වෙරළු මිණිද රිදීද රත්‍රංද කුත්තක නම් ඇතිරිද හෙවත් ඇතුන් පිට අතුරණ පලස්ද ලොම්මුවා පසතුරු නාද වැගුරුවේය.
කශී සළුද උද්දියාන නම් කම්බිලිද වැගුරුවේය. ඒ වෙළෙන්දෝ එහි කැමතිතාක් බර බැඳගෙණ සතුටුවූහ.
මෝහයෙන් මුළාවූ අඥානවූවාහු එබැවින් අපි මේ වෘක්ෂයාගේ මුල සිඳිමු. තවද වැඩියක් වස්තුව ලබමුයි පස් වෙනුව සිතුවාහුය.
ඉක්බිති වෙළඳුනි, තොපට යහපතක් වේවායි කරණලද ඇදිලි ඇත්තේ නුග රුක කෙරෙහි කුමට අපරාධ කරව්දැයි, යාඥා කරමින් එය වලකන්ට සාර්ථවාහකතෙම නැගී සිටියේය.
වෙළඳුනි, තොපට යහපතක් වේවා. මේ ගසෙහි පෙරදිග අත්ත ජලය දුන්නීය. දකුණු දිග අත්ත ආහාර පානද දුන්නීය පැසුළු දිග අත්ත ස්ත්‍රීන් දුන්නාය. උතුරු දිග අත්ත සියලු කැමති වස්තූන්ද දුන්නාය. එහෙයින් මේ නුග රුක කෙරෙහි කුමට වරද කරව්ද,
යම් ගසක්හුගේ සෙවණෙහි ඉන්නේද, නිදීම හෝ කරන්නේද ඒ ගසේ අත්ත නොබිඳින්නේය. මිත්‍ර ද්‍රෝහිකම වනාහි ලාමකවේයයි කීයේය.
බොහෝවූ ඒ වෙළෙන්දෝද තනිවූ ඒ ගැල් නායකයාගේ කීම නොගෙණ මුවහත්වූ ඒ පොරෝවලින් ඒ ගස මුලින් කපන්ට පටන් ගත්තාහුය.
ඉක්බිති සටනට සැරසුනාවූ නාගයෝ විසිපස් දෙනෙක්ද දුනු ඊ ගත්තවුන්ගෙන් තුන් සියයක්ද යුද්ධ සැට්ටලුවාවූ සදහසක්ද නික්මුනාහුය.
මොවුන් නසව්, බඳිව්, මොවුන්ගේ ජීවිතය නොමුදව්, ගැල් නායකයා හැර උන් සියල්ලන් හළු කරව්යයි (නාරජතෙම නියෝග කෙළේය)
එහෙයින්ම නුවණැති පුරුෂතෙමේ තමහට වැඩ දක්නේ ලෝභයාගේ වසඟයට නොයන්නේය. ඒ ලෝභ සහගත සතුරු සිත නසන්නේය.
තෘෂ්ණාව දුක හට ගන්නකැයි මේ දෝෂය දැන පහකළාවූ තෘෂ්ණා ඇති තෘෂ්ණා වශයෙන් නොගන්නාවූ ස්මෘති සම්පන්නවූ භික්ෂුතෙමේ වාසය කරන්නේයයි වදාළේය.”
මහාවාණිජජාතකං දසමං.