යහළුව, ඉඳින් නුඹ විසින් මා වස්තුව හේතුකොට ගන්නා ලද්දේ නම් මා නොමරාවා. ජීවග්‍රහයෙන් ගෙණ මා රජුගේ සමීපයටද ගෙණ යව. එකල්හි බොහෝවූ වස්තුව ලබන්නෙහියයි හඟිමි.
පින්වත් මයුර රාජය, දැන් මා විසින් මේ හීයතෙම ඔබ නැසීමට දුන්නෙහි තබන ලද්දේ නොවෙමි. ඔබගේ මලපුඩුවද මම සිඳලන්නෙමි. මයුර රාජතෙමේ සැපසේ යේවා.
පින්වත, යම් හේතුවකින් සත්වසක් මුළුල්ලෙහි රෑදාවල් සාපිපාස උසුලමින් මා ලුහුබැඳ ගියේද, එසේ ඇති කල්හි කුමකට මල පුඩුවෙහි බැඳුනාවූ මා බැම්මෙන් මුදන්ට කැමතිවෙහිද,
යහළුව, අද නුඹ ප්‍රාණඝාතයෙන් වැළකුනේවෙහිද නුඹ විසින් සියලු සතුන් කෙරෙහි අභය දෙනලදද, යම් හෙයකින් මළපුඩුවෙහි බැඳුනාවූ මා බැම්මෙන් මුදන්ට කැමති වන්නෙහිද, එහෙයිනි.
පින්වත් මයුර රාජය, යමෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේද, සියලු සතුන්ට අභයදානය දේද, හෙතෙම මෙයින් චුතවූයේ කිනම් සුවයක් ලබාද, මේ කාරණය විචාරමි. එය මට කියනු මැනවයි ඇසීය.
යහළුව, යමෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේද, සියලු සතුන්ට අභයදානය දෙන්නේද, හෙතෙම මේ ආත්මයෙහිම ප්‍රශංසා ලබයි. ශරීරයාගේ භෙදයෙන් පසු ස්වර්ග ලෝකයටද පැමිණේයයි කියමි.
ඇතැම් මහණ බමුණෝ දෙවියෝ නැත්තාහයි කියත්. මේලොවම ජීවිතෙන්ද්‍රිය විනාශයට පැමිණේයයිද එසේම සුකෘත දුෂ්කෘතයන්ගේ විපාක නැතැයිද, දානය අඥානයන් විසින් පණවන ලද්දක්යයිද කියත්. ඒ රහතුන්ගේ වචනය අදහමින් ඒ හේතුවෙන් මේ ලිහිණින් මරා ජීවත්වෙමියි කීයේය.
මනා දැකුම් ඇත්තාවූ සඳද හිරුද යන දෙදෙන අහසෙහි බබලමින් ගමන් කෙරෙත්. ඔව්හු මෙලොවට අයත්ද, නොහොත් පරලොවට අයත්ද, මිනිස්ලොව ඒ මහණ බමුණෝ කෙසේ නම් කියත්දැයි ඇසීය.
මනා දර්ශන ඇත්තාවූ චන්ද්‍රයාද සූර්‍ය්‍යයාද යන දෙදෙනා අහසෙහි බබළමින් ගමන් කරත්. ඔව්හු පරලොවට අයත්ය. මෙලොවට අයත් නොවෙත්. මනුෂ්‍ය ලෝකයෙහි ඔව්හු දෙවියෝයයි කියත්.
යම් කෙනෙක් කර්මය නොකියද්ද, එසේම සුකෘත දුෂ්කෘතයන්ගේ විපාකය නොකියද්ද, යමෙකුත් දානය අඥානයන් විසින් පණවන ලද්දක් කියයිද, අහේතුකවූ ලාමක වාද ඇත්තාවූ ඒ මහණ බමුණෝ මේ කරුණෙහිදීම නැසුනාහු වෙත්.
මයුර රාජය, ඒකාන්තයෙන් ඔබගේ මේ වචනය සත්‍යය කෙසේ නම් දානය විපාක නැතැයි කියන්නේද, එසේම සුකෘත දුෂ්කෘතයන්ගේ ඵලයද අඥානයන් විසින් පනවන ලද්දක් නම් කෙසේ වන්නේද,
මයුර රාජය, කෙසේ කරන්නේ කවර දෙයක් කරන්නේ කුමක හැසිරෙන්නේ කුමක් සේවනය කරන්නේ කිනම් තපස් ගුණයක් කරණකොටගෙණ යම්සේ මම නරකයෙහි නොවැටෙම්ද, මේ කාරණය මට කියව්.
යහළුව, මේ ලෝකයෙහි යම්කිසි ශ්‍රමණකෙනෙක් ඇද්ද, කාශාය වස්ත්‍ර දරන්නාවූ අනගාරිකවූ නොකල්හි හැසිරීමෙන් වැළකුණාවූ ඒ සත්පුරුෂවූ පසේ බුදුවරයෝ වනාහි උදෑසනම සුදුසු කල්හි පිඬු පිණිස හැසිරෙත්.
එහි සුදුසු කල්හි උන්වහන්සේලා කරා එළඹ තොපගේ සිතට යමක් කැමතිවන්නේද එය අසව. උන්වහන්සේලා තොපට මෙලොව සම්බන්ධවූද පරලොව සම්බන්ධවූද අර්ථය දන්නා පරිද්දෙන් ප්‍රකාශ කරත්.
සර්පයෙක් තෙම පැරණිවූ දිරුවාවූ සැවය මෙන්ද නිල්වන්වූ වෘක්ෂයතෙම පඬුවන්වූ පත්‍රය මෙන්ද මාගේ මේ රෞද්‍රභාවය ප්‍රහීණවිය. මම දැන් මේ රෞද්‍රභාවය දුරුකරමි.