2059. “කපෝත පක්ෂිය, දැන් නුඹ ගොදුරෙහි ආලය නැත්තේය. නුඹට ආහාරයෙන් ප්රයෝජනයෙක් නැත්තේද, පින්වත් පරෙවිතෙමේ කුමක් හෙයින් සාපිපාස දෙක ඉවසමින් පෙහෙවස් රක්නේදැයි (තාපසතෙම ඇසීය)
2060. “පින්වත් තාපසයන් වහන්ස, පෙර මම පරෙවි ධෙනුව කෙරෙහි ඇලීමට ගියෙමි. මේ භූමිප්රදෙශයෙහි අපි දෙදෙන කාමාශාවෙන් සිත් අලවා වාසය කෙළෙමු. එකල්හි උකුස්සෙක් පරෙවි ධෙනුව අල්වා ගත්තේය. එබැවින් මම නොකැමැත්තේම ඇගෙන් වෙන්වීමි.
2061. “ඇගේ නැතිවීමෙන්වූ වියෝග දුක හේතුකොට ගෙණ සිතෙහි හටගත් වේදනාව විඳිමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. රාගයතෙම මට නැවත නොපැමිණේවායි (පරෙවියා කීයේය)
2062. “ඍජුව නොයන්නාවූ ඇලයින් ගමන් කරන්නාවූ දිව් දෙකක් ඇති සර්පය, නුඹ දළ ආවුධකොට ඇති දරුණු විෂ ඇත්තෙක් වෙහිය. පින්වත් සර්පතෙමේ කුමක්හෙයින් සාපිපාස දෙක ඉවසමින් පෙහෙවස් රකීදැයි ඇසීය.
2063. “පින්වත, ග්රාම භෝජකයාගේ සැලෙන මොල්ලිය ඇති වර්ණයෙන් හා ශක්තියෙන් යුක්තවූ බලවත් වෘෂභයෙක් විය. හෙතෙම මා පයින් මැඩපීය. කිපියාවූ මම ඔහු දෂ්ට කෙළෙමි. දුකින් පෙළුනාවූ ඒ ගවතෙම මරණයට පැමිණියේය.
2064. “ඉක්බිති ගම්වාසී ජනයෝ නික්ම අවුත් හඬා වැළපී පිටත්ව ගියාහුය. එහෙයින් මම පෙහෙවස් රකිමි. ක්රෝධයතෙම මට නැවත නොපැමිණේවායි සර්පයා කීයේය.
2065. “සොහොන්හි මළවුන්ගේ මස් බොහෝ වෙත්. තොපට මේ ආහාරය මනහර ස්වභාව ඇත්තේය. පින්වත් සිවල්තෙමේ සාපිපාස දෙක ඉවසමින් කුමක්හෙයින් පෙහෙවස් රකීදැයි ඇසීය.
2066. “ස්වාමීනි, මම ඇත් කුණපයෙක්හි ඇළුනේ මළ ඇතුගේ මසෙහි ඉතා ගිජුවූයේ මහත්වූ ඇතෙකුගේ කුසයට ඇතුල්ව ගියෙමි. උණුසුම් වාතයද ඒ තියුණුවූ සූර්ය්යරශ්මීහුද ඒ ඇතුගේ මළ මාර්ගය වියලවූහ.
2067. “ස්වාමීනි, ඒ මම කෘශවූයේද පඬුවන් වූයේද වීමි. එහි මට නික්මීමට මාර්ගයක් නොවීය. හදිසියෙන් මහත්වූ වර්ෂාවක් වැස්සේය. උගේ මළ මාර්ගය තෙමුයේය.
2068. “ස්වාමීනි, ඉක්බිත්තෙන් මම රාහු මුඛයෙන් මිදුනාවූ චන්ද්රයාමෙන් ඉන් පිටතට නික්මුනෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. ලෝභය තෙම මට නැවත නොපැමිණේවායි සිවලා කීයේය.
2069. “යහළුව, පෙර නුඹ හුඹස් තුළ වේයන් අනුභව කරමින් හැසුරුනෙහිය. පින්වත් වලස්තෙමේ දැන් සාපිපාස දෙක ඉවසමින් කුමක් හෙයින් පෙහෙවස් රක්නේදැයි ඇසීය.
2070. “ස්වාමීනි, මම ස්වකීය නිවාසයවූ වනලැහැබට නින්දා කරමින් අධික ආශා ඇති බැවින් මලය ප්රදෙශයට ගියෙමි. ගම්වැසි ජනයෝ එයින් නික්ම අවුත් දුනු දඬු මුගුරුවලින් මට තැළුවාහුය.
2071. “බිඳුනාවූ හිස ඇති ලේ තැවරුණු සිරුරු ඇති ඒ මම ස්වකීය නිවාසස්ථානයට පෙරලා ආයෙමි. එහෙයින් මම පෙහෙවස් රකිමි. අධික ආශා ඇති බව මට නැවත නොපැමිණේවායි වළසා කීයේය.
2072. “ස්වාමීනි, නුඹවහන්සේ අපගෙන් යම් කරුණක් විචාළාහුද, අපි සියල්ලෝම දන්නා පරිද්දෙන් එය ප්රකාශ කෙළෙමු. ස්වාමීනි, අපිදු නුඹවහන්සේ විචාරමු. බ්රාහ්මණය, පින්වතුන් වහන්සේ කුමක්හෙයින් පෙහෙවස් රක්නේදැයි ඇසූහ.
2073. “කෙළෙසුන්ගෙන් නොතැවරුණාවූ පසේ බුදුවරයෙක් මාගේ අසපුවෙහි මොහොතක් කල් වැඩහුන්නේය. උන්වහන්සේ මට යායුතු තැනද ආවාවූ තැනද නමද ගොත්රයද චරණ ධර්මයද යන සියල්ල දේශනා කළසේක.