“උකුස්සාණෙනි, මේ දිවයිනෙහි දනව් වැස්සෝ හුළු බඳිත්. මාගේ දරුවන් කනු කැමතිවෙත්. එහෙයින් උපකාර ඇත්තාවූ මිතුරෙකුට කියනු මැනව, පක්ෂිවූ අපගේ නෑයන්ට පැමිණි විපත, උක්කුස රාජයාට හෙවත් ගිජුලිහිණියාට දන්වනු මැනවැයි උකුසු ධෙනුව කීයේය.
“ලිහිණිරජ්ජුරුවෙනි, නුඹ වහන්සේ පක්ෂීන් අතුරෙන් උතුම් පක්ෂිවෙහිය. මම ඔබ සරණයෙමි. රෞද්‍රවූ දනව්වැස්සෝ මාගේ දරුවන් කණු කැමතිවෙත්. නුඹ වහන්සේ මට සුවය පිණිස වනු මැනවැයි උකුස්සා කීයේය.
සබඳ උකුස්සාණෙනි, නුවණැත්තෝ කල්හිද නොකල්හිද, සැපය සොයන්නාහු උපකාර කරණ මිතුරන් ඇති කරත්. එබැවින් තොපට මම මේ උපකාරය කරමි. ආචාර ගුණ ඇත්තේ ආචාරගුණ ඇත්තෙකුගේ කටයුත්ත කෙරේමයයි (කැස්බා කීයේය.)
අනුකම්පා ඇති මිතුරෙකු විසින් කටයුතු යමක් වේද, උතුම් වූ ගුණ ඇති නුඹවහන්සේ විසින් ආචාරගුණ ඇති මට ඒ මේ උපකාරය කරණ ලදී. නුඹ වහන්සේ ආරක්ෂා වුවමැනව. නොදැවෙනු මැනව. ඔබ ජීවත්වන කල්හි අපි දරුවන් ලබන්නෙමුයි. උකුස්සා කීයේය.
එම්බා සේනකය, නුඹගේම ආරක්ෂාව සඳහා භය වළක්වමින් මරණයටද භය නොවෙමි. සමහර යාළුවෝ යහළුවන් සඳහා ප්‍රාණය හැර දැමීම පවා කෙරෙත්. මේ සත් පුරුෂයන්ගේ ගුණධර්මයෙකියි ලිහිණි රජ කීයේය.
අහසින් යන්නාවූ මේ උක්කුස නම් ලිහිණි රජතෙම රාත්‍රි භාගයක් පසුවනතුරු යහළුවාගේ දරුවන් සඳහා ඉතා දුෂ්කරවූ කටයුත්තක් කෙළේය.
දියෙහි වාසය කරන්නාවූ මාගේම මිත්‍රයාණෙනි, සමහරු යශසින් ධනයෙන් ගිළිහුනාහුද, සිය කටයුතුවලින් පිරිහුනාහුද, මිතුරන්ට අනුකම්පාවෙන් උපකාර වෙත්. දැන් මාගේ දරුවෝ කරදරයට පැමිණියාහුය. එහෙයින් මම ඔබ පිහිට සොයා ආවෙමි. මාගේ ඒ කටයුත්ත කරණු මැනවයි. (උකුසුතෙම කැස්බාට කීයේය.)
මිත්‍ර සේනකය, නුවණැත්තෝ ධනයටද ධාන්‍යයයටද තම ජීවිතයටද වඩා උපකාර ඇති මිතුරන්ට සලකත්. එහෙයින් මම තොපගේ මේ කටයුත්ත කරමි. ආචාර ගුණවන්තයා ආචාරගුණ ඇත්තෙකුගේ කටයුත්ත කෙරේමයයි කැසුබුතෙම කීයේය.)
“පියාණෙනි, ඔබ වෙහෙස නොගෙණ හිඳිනු මැනව, පුත්‍රතෙමේ පියාගේ කටයුත්තෙහි හැසිරෙන්නේය. උකුස්සාගේ දරුවන් රක්නේ මම ඔබගේ මේ කටයුත්තෙහි හැසිරෙන්නෙමියි කැසුබු පුත්‍රයා කීයේය.
“පුත්‍රය, පියාගේ කටයුත්තෙහි පුත්‍රයා හැසිරෙන්නේය යන මේ වනාහි ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගේ ගුණ ධර්මයක් වේ. එසේවුවත් ඒ දනව් වැස්සෝ ඉතා වැඩුනු සිරුරු ඇති මා දැක උකුස්සාගේ දරුවන්ට පීඩා නොකරන්නාහු නම් යෙහෙකැයි කැස්බා කීයේය.
මෘගයන් අතර වීර්‍ය්‍ය ඇත්තවුන්ගෙන් ශ්‍රේෂ්ඨවූ සිංහ රාජය, සිව්පාවෝද, මිනිස්සුද භයින් පෙළුනාහු උතුමෙකු වෙත එළඹෙත්. මාගේ දරුවෝ දැන් භයින් පීඩිතවූහ. එහෙයින් මම ඔබ පිහිට සොයා ආවෙමි. නුඹවහන්සේ අපගේ රජවෙහිය. මාගේ දුක් දුරු කිරීමට උපකාරවුව මැනවැයි උකුස්සා සිංහයාට කීයේය.
“එම්බා සේනකය, තොපගේ මේ කටයුත්ත කරමි. තොපගේ ඒ සතුරු සමූහයා නැසීමට එන්නෙමු. නුවණැත්තේ සතුරන් මැඩීමට සමර්ථවූයේ සතුරු භය දැන තමා හා සමාන මිත්‍ර ජනයාගේ ආරක්ෂාව පිණිස කෙසේනම් උත්සාහ නොකරන්නේ දැයි (සිංහතෙම කීයේය).
“ආර්‍ය්‍යවූ යමෙක් සැප සඳහා මිත්‍රයන් ඇතිකරන්නේද, සුහෘදයන් ස්වාමීන් ඇති කරන්නේද, හෙතෙම හැඳි සන්නාහ ඇත්තෙක් ඊ පහර වළක්වා රැකෙන්නාක් මෙන් සතුරන්ගෙන් මිදේ. එසේ රැකුනාවූ අපි දරුවන් හා එක්ව සතුටුවෙමු.
“බියෙන් පැන නොයන්නාවූ යහළුවූ ස්වකීය මිත්‍රවූ සිංහයාගේ වික්‍රමයෙන් අපගේ පක්ෂි පෝතකයෝ සිත් සතුටු කරමින් අපගේ නාදයට අනුව නාද කෙරෙත්.
“නුවණැත්තේ යහළු මිතුරෙකු ලබාද, හෙතෙම පුත්‍රයන්ද සිව්පාවුන්ද ධනයද ලැබ පරිභෝග කෙරේ. මමද මාගේ පුත්‍රයෝද, ස්වාමියාද යන අපි මිත්‍රයන්ගේ අනුකම්පාවෙන් එක්ව වාසය කරමු.
“ස්වාමීනි, සිංහයා වැනි රාජ බලය ඇත්තාවූද උකුසු කැසුබු වැනි ශූර බල ඇත්තාවූද, මිතුරන්ගෙන් ප්‍රයෝජන ඇත්තේය. මිත්‍ර ධර්මයෙන් යුක්තයාට මෙබඳු මිතුරෝ ඇති වෙත්. මිත්‍රයන් ඇති යසස් ඇති උසස්වූ ගති ඇති හෙතෙම මෙලොවදීද, සතුටු වේ.