“එම්බා චන්ද්‍රාවෙනි, මාගේ මේ ජීවිතය පරම්පරා සිඳීමට පැමිණියේයයි සිතමි. අධික ලෙයින් තැවරුණෙමි. නුඹගේ ක්‍රීඩා විනොදයෙහි නොඇලෙමි. සොඳුරු චන්ද්‍රාවෙනි, මාගේ ප්‍රාණයෝ නිරුද්ධවෙති.
“මාගේ ජීවිතය නවතී. මට දුකෙකි. මාගේ හෘදය දවන්නේය. අතිශයින් වෙහෙසෙමි. එය ශොක කරණ චන්ද්‍රාව වූ තී හේතුකොට ගෙණය. අන් ශොක කරුණුවලින් නොවේ.
“රත්වූ ගලෙක්හි ළුෑ තෘණ මෙන්ද, මුල සිඳිනලද වනයෙහි ගසක් මෙන්ද, මලානික වෙමි. දිය නොපිරුනාවූ හොයක් මෙන් වියලෙමි. එය ශොකකරණ චන්ද්‍රාවවූ තීගේ හේතුවෙනි. අන් ශොක කරුණුවලින් නොවේ.
“පර්වත පාදයෙහිවූ විලෙහි වර්ෂා ජලය මෙන් මාගේ මේ කඳුළු ධාරාවෝ වැගිරෙත්. එය ශොකවන චන්ද්‍රාවවූ තී හේතුකොට ගෙණය අන් ශොක කරුණුවලින් නොවේයයි (සඳකිඳුරුතෙම වැළපුනේය.)
‘රාජපුත්‍රය, යමෙක් බැගෑපත්වූ මාගේ කැමති ස්වාමියා වන ලැහැබෙහි විද්දේද, ඒ නුඹ පාපයෙක් වෙහිය. ඒ මේ විදිනලද මාගේ ස්වාමිතෙම බිම සයනය කෙරේ.
“රාජ පුත්‍රය, කිම් පුරුෂයා බලන්නාවූ මාගේ හෘදයෙහි යම් ශෝකයෙක් වේද, මාගේ මේ හෘදයෙහි හටගත් ශෝකය නුඹගේ මව ලබාවා.
“රාජපුත්‍රය, සඳකිඳුරා දෙස බලන්නාවූ මාගේ හෘදයෙහි යම් ශෝකයක් හටගණීද, මේ මාගේ හෘදයෙහිවූ ශෝකය තොපගේ අඹුව ලබාවා.
“රාජපුත්‍රය, යමෙක් මා කැමැත්තෙන්ම අහිංසක වූ මාහිමි සඳකිඳුරා විද මැරීද, ඒ තොපගේ මව දරුවන්ද නොදකීවා. ස්වාමියාද නොදකීවා.
“රාජපුත්‍රය, යමෙක් මා කැමැත්තෙන්ම අහිංසකවූ මාගේ ස්වාමියා විද මැරීද, ඒ තොපගේ අඹුව දරුවන්ද නොදකීවා ස්වාමියාද නොදකීවායි සඳකිඳුරී රජහට පරිභව කළාය.
“ගිනෙරමල් බඳු ඇස් ඇති චන්ද්‍රාවෙනි, තී නොහඬව, ශොක නොකරව, තී රජකුලයෙහි ස්ත්‍රීන් විසින් පුදනලද්දී මට භාර්‍ය්‍යාවන්නෙහිවායි, රජතෙම කීයේය.