1898. “කවරෙකුට ගම්වර හා අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්‍රීන් දෙන්නෙම්ද, කවරෙක් මුවන්ගෙන් උතුම් මුවෙකුවූ ඒ රන්වන් මුවා මට කියන්නේ දැයි (ඇමතිතෙම කීයේය.)
1899. මට ගම්වරද අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්‍රීන්ද දෙව, මම තොපට මුවන්ගෙන් උතුම් මුවෙකුවූ ඒ රන්වන් මුවා කියන්නෙමියි සිටු පුත්‍රතෙම කීයේය.
1900. මේ වනලැහැබෙහි පිපීගියාවූ අඹගස්ද සල්ගස්ද ඇති රතිඳුගොව් පැහැයෙන් යුත් තෘණයෙන් ගැවසීගත් භූමියවේ මෙහි ඒ රන්වන් මුවා සිටීයයි කීයේය.
1901. රජතෙම දුන්න දෙකඩ නොකොට හෙවත් දුනුදිය හා හීය එක්කොට හීය සරසාගෙණ පැමිණියේය. මුව තෙමේද එසේ එන රජහු දැක දුරදීම මෙසේ කීය.
1902. “මහරජ්ජුරුවෙනි, බලාපොරොත්තු වුව මැනව, මා නොවිදුනු මැනව, ශ්‍රේෂ්ඨයන් වහන්ස. මෙහි මේ රන්වන් මුවා සිටී යන මේ පුවත කවරෙක් නම් ඔබට කීයේ දැයි ඇසීය.
1903. යහළු මුව රජ්ජුරුවෙනි, ඒ ලාමකවූ හැසුරුම් ඇති පුරුෂතෙම මෙහි මදක් ඈතින් සිටියි. හෙතෙම වනාහි මට මේ රන්වන් මුවා මෙහි සිටී යන මේ පුවත කීයේය.
1904. මේ ලෝකයෙහි ඇතැම් නුවණැති මිනිස්සු දියෙහි පාවී යන දණ්ඩක් ගොඩ ගැණීම උතුම්ය. ඇතැම් මිනිසෙකු ගොඩ ගැණීම උතුම් නොවේමැයි සැබවක්ම කීවාහුය.
1905. එම්බා රූරු මෘගය, කිමෙක්ද. තොපි මෘගයන්ට නින්දා කරන්නෙහිද, කිම පක්ෂියෙකුට නින්දා කරන්නෙහිද කිම මිනිසුන්ට නින්දා කරන්නෙහිද, මිනිස් බසින් කියන්නාවූ එය අසා මට වනාහි මහත් බියක් උපදීයයි කීයේය
1906. වහා ගලායන්නාවූ මහත්වූ ජලස්කන්ධය ඇති ගංගා ප්රවාහයෙහි ගසාගෙණ යන්නාවූ යම් මිනිසෙකු මම ගොඩලීම්ද, ඒ හේතුවෙන් මට මේ භය පැමිණියේය. මහරජ්ජුරුවෙනි, අසත් පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන් දුක්වන්නේයයි කීයේය.
1907. මෘග රාජය, ඒ මම හී පත්‍ර සතරක් ඇති අහසින් යන්නාවූ සිරුර සිඳින්නාවූ මේ හීය ඔහුගේ හෘදයෙහි හරින්නෙමි. යමෙක් එබඳුවූ කළ උපකාරය නොදනීද, නොකටයුතුකරන්නාවූ ඒ මිත්‍ර ද්‍රෝහියා නසමියි කීයේය.
1908. ජනාධිපතිය, ඒකාන්තයෙන් ප්රාඥයාගේද බාලයාගේද නැසීම සත්පුරුෂයෝ කිසි කලෙකත් නොපසසත්. එහෙයින් මේ ලාමක ස්වභාව ඇත්තේ කැමති පරිදි ගෙදරට යේවා. යමකුත් මොහුට දෙමි කීයේද, එයද මොහුට දුන මැනව, මමද ඔබට කැමති පරිදි කරන්නෙක් වෙමියි කීයේය.
1909. යමෙක් ද්‍රෝහි මිනිසාට ද්‍රෝහ නොකෙළේද, ඒ මේ රූරු මෘග රාජතෙම ඒකාන්තයෙන් සත් පුරුෂයන් ගෙන් කෙනෙකි. මේ ලාමක ස්වභාව ඇත්තේ කැමති පරිදි ගෙදරටයේවා. යමකුත් මොහුට දෙමි කීම්ද, එයද ඔහුට දෙමි. මම වනාහි කැමති වරයක් දෙමියි කීයේය.
1910. මහරජ, සිවලුන්ගේද පක්ෂීන්ගේද හඬ සුවසේ දතහැක. මිනිසුන්ගේ හඬ දැන ගැණීම ඊට වඩා දුෂ්කරය.
1911. ඉදින් යම් මිනිසෙක්තෙම මේ මාගේ නෑයෙක මිත්රයෙක යහළුවෙක කියා හෝ දනීද, හෙතෙම පළමු සතුටු සිත් ඇතිව පසුව සතුරෙක් වන්නේයයි කීයේය.
1912. රැස්වූ දනව්වැස්සෝද රැස්වූ නියම් ගම්වැස්සෝද මුවෝ ගොයම් කති. දෙවයන් වහන්සේ එය වළක්වන සේක්වායි කීහු.
1913. ඒකාන්තයෙන් ජනපදය නැතිවේවා. රටද වැනසේවා මම වනාහි අභය දානය දී රූරු මෘගරාජයාට ද්‍රෝහ නොවන්නෙම්මය.
1914. මාගේ ජනපදය නැතිවේවා. රටද වැනසේවා, මම වනාහි මුව රජහට වර දී බොරු නොකියන්නෙමියි (රජ තෙම කීයේය.)”
9. රූරුමිගරාජජාතකං නවමං.
1915. නුවණැති පුරුෂ තෙමේ පටන් ගත් කටයුත්තෙහි ආශාව නොහරින්නේය. හෙවත් බලාපොරොත්තු වන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්දයත් යම්සේ මම කැමති වීම්ද, එසේම විය. ඒ මම වනාහි තමන් දකිමි.
1916. නුවණැති පුරුෂතෙමේ ආශාව නොසිඳින්නේමය. නොකලකිරෙන්නේය. ඒ මම වනාහි දියෙන් ගොඩ එනලද තමන් දකිමි.
1917. නුවණැති පුරුෂතෙමේ උත්සාහ කරන්නේමය. නොකලකිරෙන්නේය. කුමක් හෙයින්ද යත් යම්සේ මම කැමතිවීම්ද, එසේ වූයේය. මම වනාහි ඒ තමන් දකිමි.