“කාලිංග නම් චක්‍රවර්ති රජතෙම රාජධර්මයෙන් පෘථිවිය අනුශාසනා කරන්නේ මහත් ආනුභාව ඇති ඇත් රජහු පිටින් ශ්‍රී මහබොධි සමීපයට (අහසින්) ගියේය.
“කාලිංග භාරද්වාර නම් පුරෝහිත බ්‍රාහ්මණතෙම භූමිභාගය විමසා චක්‍රවර්තිවූ තාපස කුලපුත්‍රවූ කළිඟු රජහට ඇඳිළි බැඳගෙණ මේ වචනය කීයේය.
“මහරජ්ජුරුවෙනි, මේ භූමිප්‍රදෙශයතෙම යම්සේ සියලු බුදුවරයන් විසින් වර්ණනා කරණලද්දේද, එහෙයින් ඇතුපිටින් බසිනු මැනව මෙතන්හි අතුල්‍යවූ බුදුවරයෝ සම්‍යක්සම්බෝධියට පැමිණ බබළන්නාහුය.
“මේ භූමිභාගයෙහි තෘණ ලතාවෝ දක්ෂිණාවෘත වීමෙන් කරකැවී නැවී සිටිනාහ. ඒ මේ භූමිප්‍රදෙශය පෘථිවියට අලංකාරවූ ස්ථානයක් වූයේය. මහරජ, මෙසේ අප විසින් ලක්ෂණ ශාස්ත්‍රානුසාරයෙන් අසනලදී.
“සාගරය අවසන්කොට ඇති සියලු සත්වයන් දරා සිටින්නාවූ මේදිනී නම් මහාපෘථිවියට මේ ස්ථානය අලංකාරයක් වූයේය. එහෙයින් මහරජ, ඇතුපිටින් බැස නමස්කාර කරණු මැනව.
“මව්පසින්ද, පිය පසින්ද උපොසථ කුලයෙහි උපන්නාවූ සක්විති රජහට පහළවන රත්නවූ යම් මේ හස්තීහු වෙද්ද, ඒ හස්තීහු මෙතෙක් ප්‍රදෙශයට නොපැමිණෙන්නාහුය.
“හස්තිතෙම උපොසථ කුලයෙහි උපන්නේය. උතුම්වූ ඒ ඇතා කැමති පරිද්දෙන් පිටත් කළ මැනව, මෙතෙක් මේ ප්‍රදෙශය තෙම උතුම් ඇතූ විසින් එළඹෙන්ට නොහැකි වන්නේය.
“කාළිංග චක්‍රවර්ති රජතෙම එය අසා ලක්ෂණ ශාස්ත්‍ර දන්නාවූ බ්‍රාහ්මණයාගේ වචනය පරීක්ෂාකොට අපි මොහුගේ මේ වචනය යම්සේද, එසේ වන්නේදැයි දැනගනිමුයි ඇතු මෙහෙයවී.
“රජහු විසින් මෙහෙයවනලද ඒ ඇත්තෙමේද කොස්වා ලිහිණියෙකු මෙන් නාද පවත්වා හෙවත් කුඤ්ච නාදකොට පස්සට හැකිලී මහත්වූ බරක් උසුලන්නට නො හැක්කාක් මෙන් එහිම හුන්නේය.
“කාලිංග භාරද්වාජ නම් බ්‍රාහ්මණතෙම ඇතු මළහු යයි දැන කළිඟු රජුට වහා මෙසේ කීය. මහරජ, හස්තිතෙම මළේය. එහෙයින් අන් ඇතෙකුට මාරුවුව මැනවැයි කීයේය.
“කළිඟු රජතෙමේ ඒ අසා වහා අන් ඇතෙකුට සංක්‍රමණය විය. රජු අන් ඇතෙකු පිටට මාරුවූ කල්හි මළ ඇත්තෙම එහිම බිම වැටුනේය. ලක්ෂණ ශාස්ත්‍රය දන්නාවූ කාළිංග බ්‍රාහ්මණයාගේ කීම යම්සේද, එසේම ඒ ඇත්තෙම මළේය.
“කළිඟු රජතෙමේ කාළිංග භාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙය කීයේය. නුඹම සියල්ල දක්නාවූ සියලු දෙය දන්නා සුළුවූ සම්‍යක් සම්බුද්ධ වෙහියයි කීය.
“කාළිංග බ්‍රාහ්මණතෙමේ ඒ කීම නොඉවසන්නේ මෙය කීයේය. මහරජ්ජුරුවෙනි, අපි වනාහි ලක්ෂණ ශාස්ත්‍ර දන්නෝ වෙමු. බුදුවරයෝම සියල්ල දත්තාහුවෙත්.
“සර්වඥතාඥානයෙන් සියල්ල දන්නාවූ බුදුවරයෝ වනාහි ලක්ෂණ ශාස්ත්‍රයන් නොදනිත්. දැනගත් ශිල්ප බලයෙන්ම අපි එක දෙශයක් දනිමු. බුදුවරයෝ වනාහි දතයුතු සියල්ල දනිත්යයි කීයේය.