1864. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්රදෙවෙන්ද්රතෙම තපස් කරන්නාවූ අකීර්ති තාපසයන් දැක පින්වත් තාපසයන් වහන්ස, මේ ග්රීෂ්මයෙහි හුදකලාව හිඳ කිනම් සම්පත්තියක් සඳහා තපස් කරන්නෙහිදැයි ඇසුයේය.
1865. “ශක්ර දෙවෙන්ද්රය, යම්හෙයකින් සත්වයන්ගේ නැවත නැවත ඉපදීම දුක්වේද, ශරීරයාගේ බිඳීමද මුළාවූ මරණයද, දුක්වේද, වාසවය, එහෙයින් මම මෙහි තපස් කරමියි කීයේය.
1866. “කාශ්යපයන් වහන්ස, නුඹවහන්සේ විසින් මනාකොට කියනලද සුදුසුවූ මේ සුභාසිතය හේතුකොටගෙණ නුඹවහන්සේට වරයක් දෙමි. නුඹවහන්සේ සිතින් යමක් කැමැත්තෙහි නම් ඒ වරය ගණීවායි කීයේය.
1867. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්රදේවෙන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහිනම් යම් ලෝභයකින් රුවනද, අඹුවන්ද, ධන ධාන්යද අනිකුදු ප්රිය භාණ්ඩද, ලැබ මනුෂ්යයෝ තෘප්තියකට නොපැමිණෙද්ද, එබඳු ලෝභයෙක් ම කෙරෙහි නොවෙසේවා හෙවත් මා තුළ නූපදීවායි වරකැමැත්තෙමි කීයේය.
1868. “කාශ්යපයන් වහන්ස, නුඹවහන්සේ විසින් මනා කොට කියන ලද සුදුසුවූ මේ සුභාෂිතය හේතුකොටගෙණ නැවතද නුඹවහන්සේට වරයක් දෙමි. සිතින් යම්කිසිවක් කැමැත්තෙහි නම්, ඒ වරය ගණීවායි කීයේය.
1869. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්ර දේවේන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් කුඹුරුද, වතුද, අමු රන්ද, ගවයන් හා අශ්වයන් ද, දාසයන් හා කම්කරු පුරුෂයන්ද යන සියල්ල හටගත්තාවූ යම් ක්රොධ සිතකින් පිරිහීයෙද්ද, ඒ ක්රෝධයතෙම මා කෙරෙහි නොවෙසේවා හෙවත් මා තුළ නූපදීවා යන වරය කැමැත්තෙමියි කීයේය.
1870. “කාශ්යපයන් වහන්ස, නුඹවහන්සේ විසින් මනාකොට කියනලද මේ සුභාෂිතය හේතුකොටගෙණ නැවතද නුඹවහන්සේට වරයක් දෙමි. ඉදින් යම්කිසිවක් කැමැත්තෙහි නම් ඒ වරය ගණීවායි කීයේය.
1871. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්රදේවේන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් අඥානයෙකු නොදකිම්වා ඔහු ගැන නොඅසම්වා අඥානයෙකු සමග එකතැන වාසය නො කෙරෙම්වා. අඥානයා සමග පෙරපසු කතාබහ නොකෙරෙම්වා එයද රුචි නොවෙම්වායි කීයේය.
1872. “කාශ්යපයෙනි, අඥානතෙමේ ඔබට කුමක් නම් කෙළේද, කාශ්යපයෙනි, කවර කරුණකින් අඥානයාගේ දැකීම නොකැමැත්තෙහිද, ඒ කාරණය මට කියවයි කීයේය.
1873. “අඥානතෙමේ නොකටයුක්තට පමුණුවයි නොකටයුත්තෙහි යොදවයි ශ්රේෂ්ඨයකු වශයෙන් පැමිණවිය. නොහැක්කේවෙයි. මනකොට කියනලද්දේ දැයි කෝපයට පැමිණෙයි. හෙතෙම ආචාරයෙහි හික්මීම නොදනියි. එහෙයින් ඔහුගේ නොදැකීම යහපතැයි කීයේය.
1874. “කාශ්යපයන් වහන්ස, නුඹවහන්සේ විසින් මනාකොට කියනලද සුදුසුවූ මේ සුභාෂිතය හේතුකොටගෙණ නුඹවහන්සේට වරයක් දෙමි. නුඹවහන්සේ සිතින් යම් කිසිවක් කැමැත්තෙහි නම් ඒ වරය ගණීවායි කීයේය.
1875. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්ර දේවේන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් නුවණැති සත්පුරුෂයා දක්නෙම්වා. සත්පුරුෂයා ගැන අසම්වා. නුවණැති සත්පුරුෂයා සමග එකතැන වෙසෙම්වා. නුවණැති සත්පරුෂයා සමග ඒ පෙර පසු කතාබහද කෙරෙම්වා. එයද රුචිවෙම්වායි කීයේය.
1876. “කාශ්යපයෙනි, නුවණැති සත්පුරුෂතෙමේ ඔබට කුමක් නම් කෙළේද, කාශ්යපයෙනි, කවර කාරණයකින් සත්පුරුෂයාගේ දැකීම කැමැත්තෙහිද, ඒ කාරණය මට කියවයි, කීයේය.
1877. “නුවණැති සත්පුරුෂතෙමේ කටයුත්තට පමුණුවයි. නොකටයුත්තෙහි නොයොදවයි. ශ්රේෂ්ඨයෙකු වශයෙන් පැමිණවිය හැකිවෙයි. මනාකොට කියනලද්දේ නොකිපෙයි. හෙතෙම ආචාර විනය දනියි. එහෙයින් ඔහු හා සමග එක්වීම යහපතැයි කීයේය.
1878. “කාශ්යපයෙනි, මේ මනාකොට කියන ලද යහපත් වචනයෙහි ප්රසන්නවූ මම කැමැති වරයක් දෙමි. යම්කිසිවක් ඔබගේ සිතට කැමැත්තෙහි නම් ඒ වරය ගනීවායි කීයේය.
1879. “සියලු භූතයන්ට අධිපතිවූ ශක්රදේවේන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහි නම් ඉක්බිති රාත්රිය ඉක්මගිය කල්හි හිරු උදාවෙන වේලෙහි දිව්යවූ භෝජනයෝ පහළවෙත්වා. එය පිළිගන්නාවූ සිල්වත් ප්රතිග්රාහකයෝද පැමිණෙත්වා.
1880. “දෙන්නාවූද මාගේ දානවස්තුව නොපිරිහේවා. මම දානය දීද, පසුතැවිලි නොවෙම්වා. දෙමින්ද සිත පහදවන්නෙම්වා, ශක්ර දේවේන්ද්රය, මම මේ වරය ඉල්වමියි කීයේය.
1881. “ශාක්යයයන් වහන්ස, නුඹවහන්සේ විසින් මනාකොට කියනලද මේ යහපත්වූ වචනයෙහි සතුටුවූයෙම් ඔබට කැමති වරයක් දෙමි. යම්කිසිවක් සිතට කැමැත්තෙහි නම් එය ගනීවායි කීයේය.
1882. “සියලු භූතයන්ට නායකවූ ශක්රදේවේන්ද්රය, ඉදින් මට වරයක් දෙන්නෙහිනම් ඔබ මාවෙත නැවත නොඑළඹෙන්නෙහිවා. ශක්රය, මම මේ වරය ඉල්වමියි කීයේය.