“බ්රාහ්මණය, ගංඉවුරෙහි සිතමින් හිඳිනාවූ ඔබ සමීපයට දූතයන් එව්වෙමි. ඔවුන් විචාරණ ලද්දේ තොපගේ දුක්වූ සැඟවුනු අදහස් ප්රකාශ නොකෙළෙහිය (කිම, අනිකෙකුට නොකිය යුතුදැයි විචාළේය.)
කශීරට වාසීන්ගේ රට වර්ධනය කරන්නාවූ මහරජුනි ඉදින් ඔබවහන්සේට දුකක් උපන්නේද, යමෙක් තෙම ඒ දුක නොමුදන්නේද, ඔහුට එය නොකියව.
යමෙක්තෙම හටගත් දුක් ඇති ඔහුගේ ඒ දුක කොටස් වශයෙන් එක් කොටස කුදු දැහැමින් මුදන්නේද, ඒකාන්තයෙන් ඔහුට එය කියව.
සිවලුන්ගේද පක්ෂින්ගේද වචනය මනාකොට දත හැකිවේ. මහරජ, මිනිසුන්ගේ වචනය ඊටවඩා දැනගන්ට ඉතා දුෂ්කර වන්නේය.
ඉදින් යම් පුරුෂයෙක්තෙම ඤාති මිත්රතෙමේය. යහළු තෙමේයයි සිතන්නේ නමුත් හෙතෙම පළමු සතුටු සිත් ඇතිව පසුව සතුරෙක් වන්නේය.
යම් සත්වයෙක්තෙම තමාගේ දුක නැවත නැවත විචාරණ ලද්දේ නුසුදුසු කල්හි දන්වන්නේද, ඔහුගේ සතුරෝ සතුටු වන්නාහුවෙත්. ඔහුගේ හිතෛෂිවූ මිත්රයෝ හටගත් දුක් ඇත්තෝ වෙත්.
සුදුසු කාලයද දැන නුවණැත්තන්ගේ තමන් හා එක්සිත් ඇති බවද දැන එබඳු පුද්ගලයකුට දුක්වූ කාරණය කියන්නේය. ප්රාඥතෙම අර්ථවත්වූ මෘදුවූ වචනය මුදන්නේය. හෙවත් කියන්නේය.
ඉදින් තමන්ගේ දුක නොඉවසිය හැකිබව දන්නේ නම් (ඔවුන් විසින් මෙසේ සිතිය යුතුය.) ඒ ලෝක ධර්මයෝ වනාහි මට සැප ගෙණදීම පිණිස පවත්නාවූ නො වෙත්. තමන්තුළ ඇත්තාවූ ලජ්ජාභය දෙක අපේක්ෂා කරන්නාවූ ප්රාඥතෙම හුදකලාවම තමාගේ තියුණු දුක් ඉවසන්නේය.
මහරජ්ජුරුවෙනි, ආචාර්ය්යයාට දිය යුතු වස්තුව කැමැතිවූ මම රටෙහි නියම් ගම්වලද රාජධානිවලද සිඟා ඇවිදින්නෙමි.
ජනාධිපතිය, ගෘහපතීන්ද රාජ පුරුෂයන්ද මහා සාරවූ බ්රාහ්මණයන්ද යාඥාකොට ස්වර්ණය සම්බන්ධ නිෂ්ක සතක් ලැබූයෙමි. මහරජ්ජුරුවෙනි, මාගේ ඒ ස්වර්ණ නිෂ්කයෝ නැතිවූහ. එහෙයින් මම අතිශයින් ශොක කෙරෙමි.
මහරජ්ජුරුවෙනි, නුඹ වහන්සේගේ දූත පුරුෂයෝ සිතින් සිතුවාහු නමුත් මා දුකින් මුදන්ට නොපොහොසත් වූහ. එහෙයින් ඔවුන්ට නොකියෙමි.
මහරජ්ජුරුවෙනි, නුඹ වහන්සේද වනාහි මාගේ දුක සිතින් සිතන ලද්දේ දුකින් මා මුදන්ට පොහොසත්ය. එහෙයින් නුඹ වහන්සේට දැන්වූයෙමි.
කශීරට වැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජ තෙම පහත් සිත් ඇතිව ඔහුට රත්ත්රං තුදුස් නිෂ්කයක් දුන්නේය.”
දූතජාතකං පඤ්චමං.