“තාවිසින් දර නොබිඳින ලදහ. තා විසින් වතුර නොගෙණෙන ලද්දේය තා විසින් ගිනි නොදල්වන ලදී. කුමක්හෙයින් බාලයෙකුමෙන් සිතමින් ඉන්නෙහිද?
කාශ්‍යපයන් වහන්ස, නුඹ වහන්සේට කියා අවසර ගණිමි. වනයෙහි වාසය කරන්ට නොහැක්කෙමි. වනයෙහි වාසය දුක්වේ. රටට යන්ට කැමැත්තෙමි.
උතුම්වූ පියාණෙනි, මම මේ වනයෙන් ගොස් යම් ජනපදයෙක්හි වසන්නේ යම් බඳු ජනපද චාරිත්‍රයක හික්මෙන්නෙම්ද? ඒ ආචාර ධර්මය මට අනුශාසනා කරණු මැනව.
ඉදින් වනයද වනමුල් පලා පලයන්ද හැරදමා රටෙහි වාසය කැමැත්තෙහි නම් මා කියන ඒ චාරිත්‍ර ධර්මය අසව.
විෂය සේවනය නොකරව, ප්‍රපාතය දුරු කරව, මඩෙහිද නොගැලෙව, සර්පයා කෙරෙහි උත්සාහවත්වම හැසිරෙව.
බ්‍රහ්මචාරීන්ට කුමක් විෂය හෝ වේද, ප්‍රපාතය හෝ වේද, මඩ හෝ වේද, නුඹ වහන්සේ කුමක් ආශීර්විෂයයි කියන්නේහිද, එය විචාරණ ලද මට කියවයි කීයේය.
පුත නාරදය, ලෝකයෙහි සිත් කළුවූ සුවඳ ඇති මනොඥවූ මිහිරිවූ කුඩා මීරසයට බඳුරස ඇති ආසවය තෙම සුරානමැයි කියනු ලැබේ. එය ආර්‍ය්‍යයෝ බ්‍රහ්මචර්‍ය්‍යාවට විෂයයි කියත්.
දරුව, නාරදය, ලෝකයෙහි ස්ත්‍රීහු ප්‍රමාදවූවහු ආලෝලනය කෙරෙත්. ඒ ස්ත්‍රීහු සුලඟින් ගිලිහී වැටුනු පුළුන් රොදක් මෙන් තපස්වීහුගේ සිත හැර ගණිත්. මෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රපාතයයි කියන ලදී.
නාරදය, ලාභයද ගුණ කීර්තියද සත්කාරයද අන් කුලයන්හි පූජාවද යන මෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යාවට ගැලෙන අර්ථයෙන් මඩයයි කියන ලදී.
දරුව, මහත්වූ තේජස් ඇති රජ දරුවෝ මේ පොළොවට අධිපතිව වාසය කෙරෙත්, එබඳුවූ ඓශ්චර්‍ය්‍යාදියෙන් මහත්වූ ඒ රජුන්ද නාරදය (කුළුපගව සේවනය නොකරව.)
ඉසුරුමත්වූ අධිපතිවූ ඒ රජුන්ගේ සමීපයෙහි නොහැසිරෙන්නේය නාරදයෙනි මෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යාවට ආශීර්විෂයයි කියන ලදී.
අනුභව කරණ කාලයෙහි ආහාර කැමැත්තේ යම් ගෙයකට පැමිණෙන්නේද, යම්බඳුවූ මේ කුලයෙහි නිරවද්‍ය භාවය දැන ගණුව, ඒ නිවැරැදිවූ ගෘහයෙහි ආහාර සෙවීමෙහි හැසිරෙන්නේය.
පානය කිරීම පිණිස හෝ අනුභව කිරීම පිණිස හෝ අන්කුලයකට ප්‍රවිෂ්ටව පමණ දැන කන්නේය. පමණ දැන අනුභව කරන්නේය. ස්ත්‍රී රූපයෙහි සිත යොමු නො කරන්නේය.
ගවගාලද පානාගාරයද ධුර්තයන් ඇති ස්ථානයද සභාවන්ද හිරණ්‍ය ස්වර්ණාදිය විසුරුවන තැනද යන මේ අගෝචර ස්ථාන විෂම මාර්ගය අත්හැර යන්නාවූ තෙල් බඳුන් ආදිය ගෙණයන යානාවක් මෙන් දුරින්ම දුරු කරවයිද කීයේය.”
චූළනාරදජාතකං චතුත්ථං.
“බ්‍රාහ්මණය, ගංඉවුරෙහි සිතමින් හිඳිනාවූ ඔබ සමීපයට දූතයන් එව්වෙමි. ඔවුන් විචාරණ ලද්දේ තොපගේ දුක්වූ සැඟවුනු අදහස් ප්‍රකාශ නොකෙළෙහිය (කිම, අනිකෙකුට නොකිය යුතුදැයි විචාළේය.)