“මහරජ, අප පිය මහරජ තෙමේ මේ එකුන්සීයක් පමණ කුමාරයන් ජනපදදීමෙන් පුදන්නේ නුඹ වහන්සේ කිසියම් කුඩා දනව්වකින් පමණවත් පිදිය යුතුයයි මෙනෙහි නොකෙළේය. එසේ කෙළේ නුඹ වහන්සේ රාජ්යයෙහි පිහිටවන බව දැනගෙණද,
“මහරජ, තමාගේ වැඩ මනාකොට දක්නාවූ ඤාතීහු නුඹ වහන්සේට සතුටුවූහ. එසේ කරණ ලද්දේ අපගේ පිය මහරජහු ජීවත්ව සිටින කල්හිද නොහොත් දෙව්ලොව ගිය කල්හිද,
“එම්බා සංවර මහරජ, කවර ශීලයකින් සමාන ජාති ඇති එකුන් සියයක් සොහොයුරන් මැඩ සිටිනෙහිද, රැස්වූ ඤාති සමූහයෝ කුමකින් නුඹ වහන්සේ ඉක්මවා නොපවතිද්ද,
“එම්බා රාජපුත්රය, මම කිසිවෙකුට ඊර්ෂ්යා නොකරමි. මහර්ෂීවූ තාදී ගුණයෙන් යුක්තවූ ශ්රමණයන්ගේ පාවඳිමි. උන්වහන්සේලාට සකස්කොට නමස්කාර කරන්නෙමි.
“ධර්මගුණයෙහි යෙදුනාවූ කීකරුවූ මොහු කීකරුයයි දැන කරණ අනුශාසනා අසන්නාවූ මට ඍෂි ධර්ම ගුණයෙහි ඇළුනාවූ ඒ ශ්රමණයෝ අනුශාසනා කෙරෙත්.
“මම මහර්ෂීවූ ඒ ශ්රමණයන් වහන්සේලාගේ අනුශාසනාව අසා කිසිවක් නොඉක්මවමි. එහෙයින් මාගේ සිත ධර්මයෙහි ඇළුනේය.
“හස්ත්යාරෝහකයෝය, බලඇනිවල සිටියාහුය. රථාරෝහකයෝය. පාබල සේනාවෝය යන ඔවුන්ගේ නිබඳ බත් වැටුප් නොවළක්වමි.
“චතුෂ්කර්ණාදී මන්ත්ර පාරගතවූ මහ ඇමැතියෝද මට ඇත්තාහ. සෙසු පිරිවර ඇමැතියෝද ඇත්තාහ. බරණැස බොහෝවූ මස් අවුළු සුරාපානාදිය ඇතැයි ව්යවහාර කෙරෙත්.
“තවද සමෘද්ධවූ නොයෙක් රටින් මෙහි පැමිණි වණික් ජනයෝ ඇද්ද, ඔවුන් කෙරෙහිද මා විසින් ආරක්ෂාව කරණ ලද්දීය. එම්බා සොහොවුරු උපොසථය, මෙසේ දනුව,
“එම්බා සංවර මහරජ, නෑයන් පිළිබඳවූ ධර්මයෙන් වනාහි රාජ්යය කරණු මැනව, නුවණැත්තාවූ පණ්ඩිතතෙමේ නැවතද නෑයන්ට හිතවූවෙක්ම වෙහිය.
“ඒ ඒ නෑයන් විසින් පිරිවරණලද රැස්කොට තබන ලද නොයෙක් රත්න ඇති නුඹවහන්සේ වේපචිත්ති අසුර රජතෙම ශක්රයා මෙන් පසමිතුරෝ නොමැඩලිය හැක්කාහු වෙත්.”
සංවරජාතකං අට්ඨමං.
“දැලිපිහි මුවහත් බඳු නැහැ ඇති මිනිස් රූ ඇති මත්ස්යයෝ මේ සාගරයෙහි මතුවෙත්. යට ගිලෙත්. සුප්පාරක පණ්ඩිත නම්වූ නුඹවහන්සේ ඒ කාරණය විචාරමු. මේ සාගරයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනු ගමින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇතිවේ. සමුද්රය පුරවාලීයයි කියනු ලැබේ.
“ගිනි මෙන්ද, හිරු මෙන්ද මේ සමුද්රයතෙම දක්නා ලැබේ. සුප්පාරක නම් නුඹවහන්සේ එය විචාරමි. මේ සමුද්රය තෙම කවරේද,
“භරුකච්ඡානම් තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට අග්ගිමාලී යයි කියනු ලැබේ.
“දීමෙන්ද, කිරීමෙන්ද, මේ මුහුද දක්නාලැබේ. සුප්පාරක නම්වූ නුඹවහන්සේ එය විචාරමි. මේ මුහුද කවරේද,
“භරුකච්ඡා නම් නැව්තොටින් පැමිණියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මේ මුහුදට ඛිරවාලීයයි කියනු ලැබේ.
“කුශතණ මෙන්ද, තරුණ ශෂ්ය මෙන්ද මේ සමුද්රය තෙම දක්නාලැබේ. සුප්පාරක නම්වූ ඔබවහන්සේ එය විචාරමි. මේ සමුද්රයතෙම කවරේද,
“භරුකච්ඡා නම් පටුනු ගමින් පිටත්ව ගියාවූ ධන සොයන වෙළඳුන්ගේ විනාශවූ නෞකා ඇති මෙයට කුශමාලීයයි කියනු ලැබේ.