104. “කරණ ලද පව් ඇත්තහු කෙරෙහි විශ්වාස නොකරන්නේය. බොරු කියන්නහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය. තමා පිණිස පවත්නා නුවණැත්තහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය. ඉතා ශාන්තයෙකු මෙන් සිටින්නහු කෙරෙහිද විශ්වාස නොකරන්නේය.
105. “පිපාසිත ගවයන් සමානවූ සමහර පුරුෂ කෙනෙක් වෙත්. ඔහු මිත්‍රයන් වචනයෙන් කා දමන්නවුන් වැන්නෝය. ක්‍රියාවෙන් කිසිවක් නොකරත්.
106. “යමෙකු කෙරෙහි කෘතඥ බවක් නැද්ද, එසේවූ හිස්වූ ඇදිළි බැඳීම් ඇති වචනයෙන් වැඩිසිටියාවූ නිශ්ශාර මනුෂ්‍යයා කරා නොපැමිණෙන්නේය.
107. “වෙන වෙන පවත්වන සිත් ඇති ස්ත්‍රීන්ද පුරුෂයන්ද නොම විශ්වාස කරන්නේය. යම් කෙනෙක් වෙන්වම සංසර්ගය කොට පවතිද්ද, එබඳුවූවහුද විශ්වාස නොකරන්නේය.
108. “අනාර්යවූ ක්‍රියාවට බැසගත්තාවූ අස්ථිරවූ වචන ඇති සියල්ල නසන සුළුවූ පිළිසන්වූ මුවහත් කරණලද කඩුවක් බඳුවූ ඒ පුරුෂයා විශ්වාස නොකරන්නේය.
109. “මෙහි සමහර කෙනෙක් මිත්‍ර රූපකවූ සිත් නැත්තාවූ සිළුටු වචනයෙන්ද අනෙක ප්‍රකාරවූ උපායවලින් යුක්ත වෙද්ද, එබඳු වූවහුද විශ්වාස නොකරන්නේය.
110. “එබඳු නුවණ නැත්තාවූ පුරුෂතෙම යම් තැනෙක්හි ආහාරයක් හෝ ධනයක් හෝ දක්නේ වීනම් ද්‍රොහ කරන්නේය. ඔහුද නසායන්නේය.
111. “බොහෝවූ සතුරෝ මිත්‍රරූපයෙන් කැමති වූවාහු සේවනය කෙරෙත්. මෙබඳු නින්දා කටයුතු පුරුෂයන් ඇටිකුකුළා උකුස්සා මෙන් දුරු කරන්නේය.
112. “යමෙක් උපන්නාවූ අර්ථය වහා අවබෝධ නොකෙරේද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණේ, පසුවද තැවේ.
113. “යමෙක් වනාහි උපන්නාවූ අර්ථය වහාම දැනගණීද, සතුරන්ගේ වියවුලින් උකුස්සා කෙරෙන් ඇටිකුකුළා මෙන් මිදෙන්නේය.
114. “වනයෙහි අටවනලද සොර උගුලක් මෙන්ද ධාර්මිකවූ නිතර විනාශ කරන්නාවූ එබඳුවූ ඔහු හුණවනයෙහි වසන ඇටිකුකුළා උකුස්සා මෙන් පරීක්ෂා ඥානයෙන් යුක්තවූ පුරුෂතෙම දුරින් දුරුකරන්නේය.”
කුක්කුටජාතකං දසමං.
115. “සැරසුනාවූ මට කොඩොල් ඇති මල් දරන්නාවූ රන්වන් සඳුන් ගැල්වූ තෝ මේ වනමැද කුමකට දුක්වූයේ හිස අත්බැඳගෙණ හඬන්නෙහිද?
116. “ස්වර්ණමයවූ බබළන්නාවූ රියකූඩුවක් මට ලැබුනේය. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් ජීවිතය හරිමි.
117. “ස්වර්ණමයවූ, මාණික්‍යමයවූ, ලෝභමයවූ නැවත රජතමයවූ රථයක් තට කරන්නෙමි. කියව, ඒ චක්‍ර යුග්මය තට ලබාදෙමි.
118. “ඒ මානවකතෙම ඔහුට මෙසේ කීය. මාගේ රථය තෙම ස්වර්ණමය විය. මෙහිලා බබළන්නාවූ සඳහිරු දෙදෙන වෙත්. ඒ චක්‍ර යුග්මයෙන් මාගේ රථය සොභමානවේ.
119. “මානවකය, තෝ වනාහි අඥානයෙහිය යම්බඳු තෝ නොපැතිය යුත්තක් පතන්නෙහිද, එහෙයිනි තෝ මිය යන්නෙහියයි සිතමි. තෝ සඳහිරු දෙදෙන නොලබන්නෙහිය.
120. “ගමනාගමනයද වර්ණධාතුවද මේ අහසෙහි උභය වීථිහුද දක්නා ලැබේ. පරලොව ගිය තැනැත්තේ වනාහි නොම දක්නා ලැබේ. හඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් කවරෙක් වනාහි අතිශයින් අඥානවේද?
121. “මානවකය, සැබවක්ම කීයෙහිය. හඬන්නාවූ අප දෙදෙනාගෙන් මමම ඉතා අඥානවෙමි. චන්ද්‍රයා ඉල්වා අඬන්නාවූ ළදරුවෙකු මෙන් කළුරිය කළ පරලොව ගියහු ප්‍රාර්ථනා කරමි. එහෙයින් සැබවක්ම කීයෙහිය.
122. “ගිතෙල් ඉසින ලද්දාවූ ගින්නක් මෙන් ශොකාග්නියෙන් ඇවිල ගත්තාවූ මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින ලද්දක් මෙන් සියලු පීඩා නිවූයේය.
123. “ශෝකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශෝකය යමෙක් දුරු කෙළේද, හෙතෙම මාගේ හෘදයෙහි පැවැත්තාවු යම් ශොක නොමැති හුලක් වීද, ඒ හුල ඒකාන්තයෙන් උදුරා දැමීය.
124. උදුරා දැමූ ශෝක හුල් ඇති මම පහව ගිය ශෝක ඇත්තෙම් නොකැලඹුනේ වෙමි. මාණවකය, ඔබගේ බස් අසා නොම වෙහෙසෙමි. නොම හඬමි.
මට්ඨකුණ්ඩලීජාතකං එකාදසමං.