80. “භීමසේනය, තා විසින් යමක් කියන ලදද නැවත පසුව තාගේ කුණුව වැහෙන හෙයින් පූතිසර නම් වූ ශරීර මළ ධාරාවෝ වෑහෙත්. තාගේ යුද්ධ කථාවද මේ පීඩාවද යන දෙක සම නොවේයයි” කීයේය.
10. භීමසේන ජාතකය.
අටවැනි වරණ වර්ගයයි.
එහි උද්දානය:
වරණ, සීලවනාග, සච්චංකිර, රුක්ඛධම්ම, මච්ඡ, අසංකිය, මහාසුපින, ඉල්ලීස, ඛරස්සර, භීමසේන යන දසයයි.
9. අපායිම්හ වර්ගය
81. “සුරා පීම්හ, නැටුවෙමු, ගායනා කෙළෙමු. (නැවත ඒ නුසුදුසුය කියා හැඬීමි.) සිහි මුලාකරණ සුරාව පානයකොට යම් හෙයකින් වඳුරෝ නොවූයෙමුද එයම යෙහෙකැයි මෙසේ තමන්ගේ නුගුණ කීහු.”
1. සුරාපාන ජාතකය.
82. “පළිඟු ප්‍රාසාදයද රජත ප්‍රාසාදයද, මාණික්‍ය ප්‍රාසාදයද ඉක්ම ඒ තෝ පාෂාණමයවූ උර චක්‍රයෙන් මඩනා ලද්දෙහි යම් හෙයකින් වූයේද, එහෙයින් ජීවත්වනතාක් උරචක්‍රයෙන් තෝ නොමිදෙන්නෙහියයි” කීයේය.
2. මිත්තවින්ද ජාතකය.
83. “ඒකාන්තයෙන් සත්පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රවේ. දොළොස් දිනක් එක්ව විසීමෙන් වනාහි සහායයාවේ. “මසකින්ද, අඩ මසකින්ද, නෑයෙකු හා සමවේ. ඉන් වැඩිකලක් එක්ව විසීමෙන් ආත්ම සමානයෙක්ද වේ. ඒ මම ආත්ම සුඛය හේතුකොටගෙණ බොහෝ කලක් වැස පුරුදුවූ කාලකණ්ණි නම්වූ යහළුවා කෙසේ හැර පියම් දැයි” කීයේය.
3. කාලකණ්ණි ජාතකය.
84. “නිරෝගි බව නම්වූ උතුම්වූ ලාභයද ආචාරශීලයද, ගුණයෙන් වැඩිහිටියන්ගේ අනුමතියද (හෙවත්) අවවාදයද, බහුශ්‍රැත බවද, සුචරිත ධර්මයන්ට අනුව පැවැත්මද, නොපසුබටවූ සිත් ඇති බවද කැමති වන්නේය. මේ සදෙන අභිවෘද්ධියට ප්‍රධානවූ ද්වාරයෝ (හෙවත් උපායයෝ) වෙතියි” කීය.
4. අත්ථස්සද්වාර ජාතකය.
85. “මත්තෙහි වන දෝෂ නොදැක යමෙක් කම්සැප සේවනය කෙරේද, ඒ කාමයෝ ඔහු විපාකාන්තයෙහි (නරකාදියෙහි උපන්නාහු) නසත්, කුමක් මෙන්ද යත්? අනුභව කරණ ලද කිම්පක්ක නම්වූ විෂ ඵලය මෙනි.”
5. කිම්පක්ක ජාතකය.