9. අපායිම්හ වර්ගය
81. “සුරා පීම්හ, නැටුවෙමු, ගායනා කෙළෙමු. (නැවත ඒ නුසුදුසුය කියා හැඬීමි.) සිහි මුලාකරණ සුරාව පානයකොට යම් හෙයකින් වඳුරෝ නොවූයෙමුද එයම යෙහෙකැයි මෙසේ තමන්ගේ නුගුණ කීහු.”
1. සුරාපාන ජාතකය.
82. “පළිඟු ප්‍රාසාදයද රජත ප්‍රාසාදයද, මාණික්‍ය ප්‍රාසාදයද ඉක්ම ඒ තෝ පාෂාණමයවූ උර චක්‍රයෙන් මඩනා ලද්දෙහි යම් හෙයකින් වූයේද, එහෙයින් ජීවත්වනතාක් උරචක්‍රයෙන් තෝ නොමිදෙන්නෙහියයි” කීයේය.
2. මිත්තවින්ද ජාතකය.
83. “ඒකාන්තයෙන් සත්පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රවේ. දොළොස් දිනක් එක්ව විසීමෙන් වනාහි සහායයාවේ. “මසකින්ද, අඩ මසකින්ද, නෑයෙකු හා සමවේ. ඉන් වැඩිකලක් එක්ව විසීමෙන් ආත්ම සමානයෙක්ද වේ. ඒ මම ආත්ම සුඛය හේතුකොටගෙණ බොහෝ කලක් වැස පුරුදුවූ කාලකණ්ණි නම්වූ යහළුවා කෙසේ හැර පියම් දැයි” කීයේය.
3. කාලකණ්ණි ජාතකය.
84. “නිරෝගි බව නම්වූ උතුම්වූ ලාභයද ආචාරශීලයද, ගුණයෙන් වැඩිහිටියන්ගේ අනුමතියද (හෙවත්) අවවාදයද, බහුශ්‍රැත බවද, සුචරිත ධර්මයන්ට අනුව පැවැත්මද, නොපසුබටවූ සිත් ඇති බවද කැමති වන්නේය. මේ සදෙන අභිවෘද්ධියට ප්‍රධානවූ ද්වාරයෝ (හෙවත් උපායයෝ) වෙතියි” කීය.
4. අත්ථස්සද්වාර ජාතකය.
85. “මත්තෙහි වන දෝෂ නොදැක යමෙක් කම්සැප සේවනය කෙරේද, ඒ කාමයෝ ඔහු විපාකාන්තයෙහි (නරකාදියෙහි උපන්නාහු) නසත්, කුමක් මෙන්ද යත්? අනුභව කරණ ලද කිම්පක්ක නම්වූ විෂ ඵලය මෙනි.”
5. කිම්පක්ක ජාතකය.
86. “ශීලයම යහපත්වේ. ලෝකයෙහි ශීලය උතුම්ය. බලව, ඝොරවූ විෂ ඇති සර්පතෙම සිල්වත් වෙමියි අනුන්ට හිංසාවක් නොකෙරේයයි” කීයේය.
6. ශීලවිමංස ජාතකය.
87. “යම් රහත්කෙනෙකුගේ දිට්ඨාදී මංගලයෝ මනාකොට නසන ලද්දාහුද, චන්ද්‍රග්‍රහණාදී උත්පාදයෝද, ශුභවූ ස්වප්නයෝද, සුභග, දුර්භගාදී ලක්ෂණයෝද යන මේ දෘෂ්ටිස්ථානයෝ මනාකොට නසන ලද්දාහුද, මංගල දෝෂයෙන් ඉක්ම පැවැත්තේද, ක්‍රොධ උපනාහ. ආදීවශයෙන් ගන්නාවූ තරඟයන්ද, කාමයෝගාදීවූ යෝග ධර්මයන්ද මැඩපවත්වා සිටියේද, ඒ ක්ෂීණාශ්‍රවතෙම කිසි කලෙකත් ප්‍රතිසන්ධිවශයෙන් මෙලොවට නොඑන්නේයයි” වදාළේය.
7. මංගල ජාතකය.
88. “යහපත්වූ වචනයක්ම කියන්නේය ලාමකවූ තෙපුලක් නොකියන්නේය. යහපත් වචනයාගේ මෝක්ෂය හෙවත් බිණීම ප්‍රශස්තය. ලාමකවූ තෙපුල මුදා හෙවත් කියා මෙලොව පරලොව තැවෙන්නේ යයි” වදාළේය.
8. සාරම්භ ජාතකය.
89. “මෘදුවූ බස් කියන්නාවූ තොපගේ වචනයම සිළුටුවී තණ ගසක් පමණෙක කුකුස් කරමින් ඇළුනෙහිය. නිෂ්ක (කලං 25 ක රන්) සියයක් ගෙණයන්නෙහි නොඇළුනෙහිද වීයයි” කීයේය.
9. කුහක ජාතකය.
90. “යමෙක් පෙර අනුන් විසින් කරණලද උපකාර ඇත්තේ නිෂ්පාදිත කෘත්‍ය ඇත්තේ එය නොදනීද, පසුව කටයුත්තක් පැමිණිකල්හි එයට කිසිවක්හු නොලබායයි” කීයේය.
10. අකතඤ්ඤු ජාතකය.
අපායිම්හ වර්ගය නවවැනියි.
එහි උද්දානය:
අපායිම්හ ද, දූභක සත්තපද ද, ඡළද්වාර ද, ආයතින ද, අහිසීලව ද, මඞ්ගලි ද, පාපික ද, සතනික්ඛ ද, කතත්ථ ද යන මෙයින් දසයෙකි.