27. “පළමුකොට දෙන කටුක ආහාරය ගන්නට අසමර්ථය, පිඬු කොට දුන් බතද ගන්නට අසමර්ථය. තෘණයන්ද අනුභව කරන්ට නොපොහොසත. නැහැවීමෙහි ඇඟ ඉලීමටද නොහැක. නිතර දැකීමෙන් ඇත්තෙමේ බල්ලා කෙරෙහි ආදරය කෙළේයයි” හඟිමි. (එහෙයින් ඒ ප්‍රේම කළ බල්ලා ගෙන්වා ශොක පහකරව යනු අභිප්‍රායයි.)
27. අභිණ්හ ජාතකය
28. “මනහර වචනයක්ම කියන්නේය. කිසිකලෙකත් අමනොඥ වූවක් නොකියන්නේය. එයින් කවර ප්‍රයෝජනයක්ද? මනොඥ කොට කියන්නාහට ගැල් සියයක් පමණ වූ මහත් බර තුබූ තැනින් ඉදිරීය. ඒ බමුණාට ධනයද ලැබෙව්වේය. එහෙයින් සතුටු සිත් ඇත්තෙක්ද වූයේයි.”
28. නන්දිවිශාල ජාතකය
29. “යම් යම් තැනෙක්හි වියගස බරවේද, යම් තැනෙක්හි ගැඹුරුවූ මාර්ගය වේද, එකල්හි කණ්හ නම් වෘෂභයා යොදත්. හෙතෙමේ ඒ බර උසුලන්නේයි.”
29. කණ්හ ජාතකය
30. “මුණික නම් සූකරයාගේ භොජනය නොකැමති වෙව. කුමක් හෙයින්ද යත්? ඒ මුණික තෙමේ මරණාහාරයන් අනුභව කරයි. මධුරාහාරයට උත්සාහ නොකොට තමා ලත් තෘණපත් කව. මෙය දීර්ඝායුෂ්ක වීමේ ලක්ෂණයයි.”
30. මුනික ජාතකය
කුරුංග වර්ගය තෙවැනියි.
එහි උද්දානය:
කුරුංගමිග, කුක්කුර, භොජාජානීය, ආජඤ්ඤ, තිත්ථ, මහිලාමුඛ, අභිණ්හ, නන්දිවිසාල, කණ්හ, මුනික යන ජාතක දසයයි.
4. කුළාවක වර්ගය
31. “මාතලී දිව්‍ය පුත්‍රය, හිඹුල් වනයෙහි සුපර්ණ පෝතකයෝ (හෙවත්) ගුරුළු පැටව් වසන කූඩු රථ ශීර්ෂයෙන් දුරුකරව. අසුරයන් කෙරෙහි ඒකාන්තයෙන්ම අපගේ ප්‍රාණය හරිමු. මේ ගුරුළු පැටව් පහවූ කූඩුවක ඇත්තෝ නොවෙත්වායි.”
31. කුළාවක ජාතකය
32. “මයුරය තොපගේ ශබ්දය මනොඥය, පිටද සිත්කළුය, ග්‍රීවයද වෛඩූර්ය මාණික්‍යයෙහි වර්ණය හා සමානය. පිල් සමූහයද බඹයක් පමණ විහිදී ඇත්තේය. මෙසේ වුවද භය ලජ්ජා නැති නැටීම නිසා තට මාගේ දුව නොදෙමියි” කීයේය.
32. නච්ච ජාතකය
33. “වටු පක්ෂීහු සමගියෙන් සතුටුවූවාහු දැල නඟාගෙණ යෙති. ඒ පක්ෂීහු යම්කලෙක විරුද්ධ වාද කරන්නාහු වෙද්ද? එකල්හි මාගේ වසඟයට එන්නාහුයයි” කීයේය.
33. සම්මොද මාන ජාතකය
34. “මට ශීතය පීඩා නොකරයි, මට උෂ්ණය පීඩා නොකරයි, මා දැළෙහි බැඳීමද පීඩාවක් නොකරයි. යළි පීඩා නම් කිමද යත්? යම්බඳුවූ මා නොදක්නාවූ මත්ස්‍ය ධෙනු තොමෝ ඒ මාගේ ස්වාමියා අන් මත්ස්‍ය ධෙනුවක ළඟට කාමාශාවෙන් ගියේයයි සිතාද?” (හේ මේ සියලු දුකට වඩා මට පීඩා කෙරෙහි යනු අභිප්‍රායයි.)
34. මච්ඡ ජාතකය
35. “මාගේ පියාපත් ඇත්තාහ. අහසින් යන්ට නොහැක්කාහ, පාදයෝ ඇත්තාහ, පියවර නඟා යන්ට නොහැක්කාහ, මාගේ මව්පියෝද මාහැර ගියහ. ජාත වේදය (හෙවත්) මේ ගින්න පහව යවයි” කීයේය.
35. වට්ටක ජාතකය