3. කුරුංග වර්ගය
21. “එම්බා ඇද්දෙමට ගස, තෝ යම්හෙයකින් ඉදිරියෙහි පල විසුරුවන්නේහිද, මේ කාරණය කුරුංග මෘගවූ මට ප්රකටය. නොහොත් කුරුංග මෘගයා විසින් දන්නාලදී. (එහෙයින්) අනෙක් ඇද්දෙමට ගසක් ලඟට යන්නෙමි. තාගේ ජලය මට රුචි නොවෙය’යි (මෙසේ ගසක් මෙන් සිටි වැද්දාහට කියා ගස යටට නොපැමිණ මගට බැස ගියේය යනු අභිප්රායයි.)
21. කුරුංග මෘග ජාතකය
22. “වර්ණයෙන් හා කාය බලයෙන් යුක්තවූ, රාජකුලයෙහි උපන්නාවූ, රජ ගෙදර වැඩුණාවූ යම් බලු කෙනෙක් ඇද්ද, ඒ මේ බල්ලෝ වධයට සුදුස්සෝ නොවෙති. අස්වාමිකවූ අපි වධයට සුදුස්සෝවූම්හ. මේ වධය ප්රබලයනගේ වධයක් නම් නොවේ. මේ වධය දුර්වලයන්ගේ වධය නම් වේයයි” කීයේය.
22. කුක්කුර ජාතකය
23. “ඊතල වලින් විදිනා ලද එහෙයින්ම එක පාර්ශ්වයෙන් ශයනය කරන්නාවුද, භොජාජානීයවූ අශ්ව තෙමේම කොටලුවාට වඩා උතුම්වේ. රථාචාර්යය, මාම යොදවයි” කීයේය.
23. භොජාජානීය ජාතකය
24. “පෙරවරු ආදී යම් යම් කලෙක්හි හෝ ග්රාමාදීවූ යම් තැනෙක්හි හෝ යම් මොහොතක හෝ යම් යම් යුද්ධ භූමියක හෝ යම් යම් කලෙක්හි ආජානීය නම් උතුම් අශ්ව තෙමේම ව්යායාමය කෙරේද, (එහෙයින්) එහිලා උතුම් අශ්වයෝ පිරිහෙත්.” (එහෙයින් මාම යොදව යනු අභිප්රායයි.)
24. ආජඤ්ඤ ජාතකය
25. “රථාචාර්යය, අනෙක් අනෙක් තොටුපලකින් අශ්වයා පැන් පොවව. පුරුෂතෙමේ අධික කොට කෑම කරණකොට ගෙන මධුරවූ කිරිබතින්ද තෘප්තියට පැමිණේයයි” කීයේය.
25. තීර්ථ ජාතකය
26. “මහිලා මුඛ නම් හස්තිතෙමේ පැරණි සොරුන්ගේ නපුරු බස් අසා ඊට අනුව හැසිරෙන්නේ කෝපයෙන් යුක්තව පහර දෙන්නේ මනා සංවර ඇත්තවුන්ගේ වචනයන් මනාකොට අසා උතුම් ඇත්තෙමේ පළමු තමාගේ පැවති සියලු ගුණයන්හි පිහිටියේයි.”
26. මහිලා මුඛ ජාතකය
27. “පළමුකොට දෙන කටුක ආහාරය ගන්නට අසමර්ථය, පිඬු කොට දුන් බතද ගන්නට අසමර්ථය. තෘණයන්ද අනුභව කරන්ට නොපොහොසත. නැහැවීමෙහි ඇඟ ඉලීමටද නොහැක. නිතර දැකීමෙන් ඇත්තෙමේ බල්ලා කෙරෙහි ආදරය කෙළේයයි” හඟිමි. (එහෙයින් ඒ ප්රේම කළ බල්ලා ගෙන්වා ශොක පහකරව යනු අභිප්රායයි.)
27. අභිණ්හ ජාතකය
28. “මනහර වචනයක්ම කියන්නේය. කිසිකලෙකත් අමනොඥ වූවක් නොකියන්නේය. එයින් කවර ප්රයෝජනයක්ද? මනොඥ කොට කියන්නාහට ගැල් සියයක් පමණ වූ මහත් බර තුබූ තැනින් ඉදිරීය. ඒ බමුණාට ධනයද ලැබෙව්වේය. එහෙයින් සතුටු සිත් ඇත්තෙක්ද වූයේයි.”
28. නන්දිවිශාල ජාතකය
29. “යම් යම් තැනෙක්හි වියගස බරවේද, යම් තැනෙක්හි ගැඹුරුවූ මාර්ගය වේද, එකල්හි කණ්හ නම් වෘෂභයා යොදත්. හෙතෙමේ ඒ බර උසුලන්නේයි.”
29. කණ්හ ජාතකය
30. “මුණික නම් සූකරයාගේ භොජනය නොකැමති වෙව. කුමක් හෙයින්ද යත්? ඒ මුණික තෙමේ මරණාහාරයන් අනුභව කරයි. මධුරාහාරයට උත්සාහ නොකොට තමා ලත් තෘණපත් කව. මෙය දීර්ඝායුෂ්ක වීමේ ලක්ෂණයයි.”
30. මුනික ජාතකය
කුරුංග වර්ගය තෙවැනියි.
එහි උද්දානය:
කුරුංගමිග, කුක්කුර, භොජාජානීය, ආජඤ්ඤ, තිත්ථ, මහිලාමුඛ, අභිණ්හ, නන්දිවිසාල, කණ්හ, මුනික යන ජාතක දසයයි.