4. 1. 8.
8. බහූපකාර සූත්‍රය
107. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් බමුණු ගැහැවියෝ තොපට සිවුරුය, පිණ්ඩපාතය, සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙයින් උපස්ථාන කරන්නාහු වෙද්ද, ඒ බමුණු ගැහැවියෝ බොහෝ උපකාර ඇත්තාහු වෙති. මහණෙනි, තෙපිදු ඒ බ්‍රාහ්මණ ගෘහපතියන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, සියල්ලෙන් සම්පූර්ණවූද, දහම් දෙසවුද, පිරිසිදු බඹසර ප්‍රකාශකරවූද ඕඝය තරණය කරන පිණිසද සියලු සංසාර දුඃඛය කෙළවර කිරීම පිණිස මාර්ගබ්‍රහ්මචර්යය වසන්නේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “ගිහියෝද පැවිද්දෝද (යන) දෙපාක්ෂිකයෝ ඔවුනොවුන් මනාව ඇසුරුකරන්නාහු උතුම් (සතර) යොගයෙන් නිර්භයවූ රහත් ඵලයටද, නිවනටද (පැමිණීම පිණිස) ප්‍රතිපත්ති සද්ධර්මයද, ප්‍රතිවෙධ සද්ධර්මයද සපයත්.
3. “පැවිද්දෝ ගිහියන් කෙරෙන් හෝ ගිහියන්ගේ සමීපයෙන් සිවුරුද, පිණ්ඩපාතය හා ගිලන්පසද සයන හා අසුන්ද ආරාමාදිය ද පිළිගනිත්.
4. “ගෘහයෙහි, භොගය හා ශීලය සොයනසුලුවූ ගෘහස්තයෝ මනාව පිළිපන් නිසා රහතුන්ගේ වචන අදහන්නාහු විශේෂයෙන් පිරිසිදු ප්‍රඥාවෙන් ධ්‍යාන කරන්නාහු වෙත්.
5. “මේ ආත්මයෙහි හෝ මේ සස්නෙහි මාර්ගයවූ ධර්මයෙහි හැසිර සුගතියට යන්නාහු සතුටුවන්නාහු දෙව්ලොව කැමැති පරිද්දෙන් කාමසම්පත් ඇත්තෝව සතුටු වෙති’යි”
මේ කරුණද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 9.
9. කුහථද්ධ සූත්‍රය
108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම්කිසි මහණකෙනෙක් විෂ්මය පත්කරන්නාහු වෙද්ද, තද සිත් ඇත්තාහු වෙද්ද, කියන්නාහු වෙද්ද, ඉදිරියෙහි යන ක්ලේශයෙන් යුක්ත වූවාහු වෙද්ද, උස්ව නැංඟාවූ මාන නමැති නළ ඇත්තාහුවෙද්ද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහු වෙද්ද, “මහණෙනි, මාගේ ඒ භික්ෂූහු මා සතුවූවෝ නොවෙති. මහණෙනි, ඒ භික්ෂූහු මේ සස්නෙන් පහවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වැඩීමට විශේෂයෙන් වැඩීමට විපුලබවට නොම පැමිණෙත්.
“මහණෙනි, යම් භික්ෂූහු වනාහි කුහක නොවූවාහු වෙද්ද, සිවුපසය ඉල්ලීමේ වචන ඇත්තාහු නොවෙද්ද, ධෛර්‍ය්‍ය සම්පන්නයෝ වෙද්ද, තද සිත් ඇත්තාහු නොවෙද්ද, මනාව එකඟසිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, මාගේ ඒ භික්ෂූහු වනාහි (මනාව පිළිපන් බැවින්) මමත්වය ඇත්තාහු (මා සතු වූවාහු) වෙත්. මේ ධර්ම විනයෙන් (ශාසනයෙන්) පහනොවූවාහුද වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි (අර්හත් මාර්ගය තෙක් ශීලාදි ගුණයෙන්) වැඩීමටද (නිසල බැවින්) විශේෂයෙන් වැඩීමටද ශීලාදීන් සම්පූර්ණ වීමෙන් හැම තන්හි පතළවීමෙන්) මහත් බවටද පැමිණෙත් යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “කුහකයෝද (ක්‍රෝධයෙන් හා මානයෙන් දැඩි සිත් ඇත්තාහුද පොළඹ වන්නාහුද ප්‍රකට කෙලෙස් ඇත්තාහුද උස්වූ මාන නමැති නළ ඇත්තාහුද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහුද ඒ භික්ෂූහු සම්‍යක් සම්බුදුන් විසින් දෙනලද ධර්මයෙහි නොවැඩෙත්.
3. “කුහක නොවූවෝද (ජනයන් ප්‍රත්‍යය සඳහා නොපොළඹවන්නෝද ධෛර්‍ය්‍ය ඇත්තෝද තදනුවූ සිත් ඇත්තෝද සිතෙහි මනා එකඟබව ඇත්තෝද (යන) ඒ භික්ෂූහු ඒකාන්තයෙන් සම්‍යක් සම්බුදුන් විසින් දෙසන ලද ධර්මයෙහි වැඩෙතියි.”
මේ කරුණද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 10.
නදීසොතොපම සූත්‍රය
109. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් සේ වනාහි පුරුෂයෙක් තෙමේ ගංගාවෙක්හි ප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය කරණකොටගෙන වහා ගලාබස්නා සැඩ පහරින් යටි ගං බලාගෙන යනු ලැබේද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඉවුරෙහි සිටියේ ඔහු දැක මෙසේ කියන්නේය. ‘එම්බා පුරුෂය, කිසිසේත් තෝප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය හේතුකොටගෙන නදියෙහි සැඩපහරින් ගෙනයනු ලබන්නෙහිය. එම්බල පුරුෂය තෝ යම් විලකට පැමිණ මරණයට හෝ මරණ සමාන දුකට හෝ පැමිණෙන්නෙහිද, මේ නදියගේ යට මහ රළ ඇත්තාවූ දියසුළි ඇත්තාවූ සැඩමසුන් ඇත්තාවූ දියරකුසන් සහිතවූ විලෙක් ඇත.’ “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ ඒ පුරුෂයාගේ හඬ අසා අතින් හා පයින්ද උඩුගං බලා පීණන්නේය.