4. 1. 9.
9. කුහථද්ධ සූත්‍රය
108. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම්කිසි මහණකෙනෙක් විෂ්මය පත්කරන්නාහු වෙද්ද, තද සිත් ඇත්තාහු වෙද්ද, කියන්නාහු වෙද්ද, ඉදිරියෙහි යන ක්ලේශයෙන් යුක්ත වූවාහු වෙද්ද, උස්ව නැංඟාවූ මාන නමැති නළ ඇත්තාහුවෙද්ද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහු වෙද්ද, “මහණෙනි, මාගේ ඒ භික්ෂූහු මා සතුවූවෝ නොවෙති. මහණෙනි, ඒ භික්ෂූහු මේ සස්නෙන් පහවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වැඩීමට විශේෂයෙන් වැඩීමට විපුලබවට නොම පැමිණෙත්.
“මහණෙනි, යම් භික්ෂූහු වනාහි කුහක නොවූවාහු වෙද්ද, සිවුපසය ඉල්ලීමේ වචන ඇත්තාහු නොවෙද්ද, ධෛර්‍ය්‍ය සම්පන්නයෝ වෙද්ද, තද සිත් ඇත්තාහු නොවෙද්ද, මනාව එකඟසිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, මාගේ ඒ භික්ෂූහු වනාහි (මනාව පිළිපන් බැවින්) මමත්වය ඇත්තාහු (මා සතු වූවාහු) වෙත්. මේ ධර්ම විනයෙන් (ශාසනයෙන්) පහනොවූවාහුද වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි (අර්හත් මාර්ගය තෙක් ශීලාදි ගුණයෙන්) වැඩීමටද (නිසල බැවින්) විශේෂයෙන් වැඩීමටද ශීලාදීන් සම්පූර්ණ වීමෙන් හැම තන්හි පතළවීමෙන්) මහත් බවටද පැමිණෙත් යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “කුහකයෝද (ක්‍රෝධයෙන් හා මානයෙන් දැඩි සිත් ඇත්තාහුද පොළඹ වන්නාහුද ප්‍රකට කෙලෙස් ඇත්තාහුද උස්වූ මාන නමැති නළ ඇත්තාහුද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහුද ඒ භික්ෂූහු සම්‍යක් සම්බුදුන් විසින් දෙනලද ධර්මයෙහි නොවැඩෙත්.
3. “කුහක නොවූවෝද (ජනයන් ප්‍රත්‍යය සඳහා නොපොළඹවන්නෝද ධෛර්‍ය්‍ය ඇත්තෝද තදනුවූ සිත් ඇත්තෝද සිතෙහි මනා එකඟබව ඇත්තෝද (යන) ඒ භික්ෂූහු ඒකාන්තයෙන් සම්‍යක් සම්බුදුන් විසින් දෙසන ලද ධර්මයෙහි වැඩෙතියි.”
මේ කරුණද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 10.
නදීසොතොපම සූත්‍රය
109. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් සේ වනාහි පුරුෂයෙක් තෙමේ ගංගාවෙක්හි ප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය කරණකොටගෙන වහා ගලාබස්නා සැඩ පහරින් යටි ගං බලාගෙන යනු ලැබේද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඉවුරෙහි සිටියේ ඔහු දැක මෙසේ කියන්නේය. ‘එම්බා පුරුෂය, කිසිසේත් තෝප්‍රිය ස්වභාවය හා සැප ස්වභාවය හේතුකොටගෙන නදියෙහි සැඩපහරින් ගෙනයනු ලබන්නෙහිය. එම්බල පුරුෂය තෝ යම් විලකට පැමිණ මරණයට හෝ මරණ සමාන දුකට හෝ පැමිණෙන්නෙහිද, මේ නදියගේ යට මහ රළ ඇත්තාවූ දියසුළි ඇත්තාවූ සැඩමසුන් ඇත්තාවූ දියරකුසන් සහිතවූ විලෙක් ඇත.’ “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ ඒ පුරුෂයාගේ හඬ අසා අතින් හා පයින්ද උඩුගං බලා පීණන්නේය.
මහණෙනි, අර්ථය හඟවනු පිණිස මා විසින් මේ උපමාතොමෝ කරනලද මේ උපමාවෙහි මේ අර්ථයි.
“මහණෙනි, නදියෙහි මහවතුර යයි තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, ප්‍රිය ස්වභාවය මිහිරි යයි අධ්‍යාත්මිකවූ සද්ධායතනයන්ට මේ නමෙකි. මහණෙනි, යට (මහ) විලයයි ඔරම්භාගිය සංයෝජනයන්ට මේ නමෙකි. මහණෙනි, භයජනක රළ යයි බලවත් ක්‍රෝධයට මේ නමෙකි. මහණෙනි, දියසුළි යයි පස්කම් බැඳුමට මේ නමෙකි. මහණෙනි, චණ්ඩ මත්ස්‍යය ජලරාක්ෂසයයි ස්ත්‍රියට මේ නමෙකි. මහණෙනි, ප්‍රතිස්‍රොතය (උඩුගඟ) යයි නෛෂ්ක්‍රම්‍යයට මේ නමෙකි. මහණෙනි, අතින් හා පයින් වෑයම් කිරීම යයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට මේ නමෙකි. මහණෙනි, ඉවුරෙහි සිටි ඇස් ඇති පුරුෂයා යයි අර්හත්වූ සියලු දතයුතු ධර්මයන් මනාව දැනගත්තාවූ තථාගතයන් වහන්සේට මේ නමෙකි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “මත්තෙහි කාමයොගයෙන් නිර්භයවූ රහත්බව කැමැති වන්නාවූ මහණතෙම ක්ලේශකාමයන් දුකසේ පහකරන්නේය, විදර්ශනා සහිත මාර්ගප්‍රඥාවෙන් මනාකොට දන්නාවූ ආර්ය මාර්ගාධිගමයට අනතුරුව ඵල විමුක්තියෙන් මනාව මිදුනු සිත් ඇති (මහණතෙම) ඒ ඒ මාර්ගඵලයන්ට පැමිණෙන කාලයෙහි නිවනට ඇතුළත් ඵලසමවතින් වසන්නේය. මාර්ගඥානයෙන් චතුස්සත්‍යයන් දැනගත්තාවූ වැස නිමවනලද මගබඹසර ඇත්තාවූ ස්කන්ධලෝකයාගේ කෙළවරට ගියාවූ ඒ ක්ෂීණාශ්‍රව තෙමේ (සසර සයුරේ) පරතෙරවූ නිවණට ගියේයයි කියනු ලැබේ.”
මේ අර්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යයි මා විසින් අසන ලදී.
4. 1. 11.
චරතොඋප්පජ්ජති සූත්‍රය
110. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, ඉදින් හැසිරෙන්නාවූද මහණහට කාමය පිළිබඳ කල්පනාවක් හෝ ද්වේෂය පිළිබඳ කල්පනාවක් හෝ වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවක් හෝ උපදීද, මහණෙනි, ඉදින් මහණතෙම ඒ විතර්කය ඉවසාද, පහනොකෙරේද, දුරුනොකෙරේද, පහනොවූ කෙළවර ඇත්තක් නොකෙරේද, නැවත නැවත අභාවයට නොපමුණුවාද, “මහණෙනි, කෙළෙස් තවන වීර්යය නැත්තාවූ පාපයට භයනොවූ මෙබඳු මහණතෙම හැසිරෙන්නේද සියලු කල්හි අලසවූ ලාමක වීර්ය ඇත්තේයයි කියනු ලැබේ.
“මහණෙනි, සිටියාවූද මහණහට ඉදින් කාමවිතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදීද, මහණෙනි, ඉදින් මහණතෙම ඒ විතර්කය ඉවසාද පහ නොකෙරේද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, නොවීමට නොපමුණුවාද, මහණෙනි, එබඳුවූ කෙළෙස් තවන වීර්යය නැත්තාවූ පවට බිය නැත්තාවූ භික්ෂුතෙමේ සිටියේද නිරන්තරයෙන් කුසීතවූ හීන වීර්ය ඇත්තේ යයි කියනු ලැබේ.