4. 1. 7.
7. සබ්රහ්මක කුල සූත්රය
106. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්රහ්මයා ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදනලද්දාහු වෙද්ද, ඒ පූර්ව දෙවියන් සහිතවූ කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ පූර්වාචාර්යයන් ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් තමාගේ ගෘහයෙහි මවුපියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ සත්කාරයට සුදුස්සන් ඇත්තාහු වෙත්.
“මහණෙනි, බ්රහ්මයයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්ව දෙවතාවෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්වාචාර්යයෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි. (උපකාරයට කෙත් බැවින්) ආහුණෙය්යයෝයයි මවුපියනට (නියම) නමෙකි. ඊට හේතු කවරේද?
මහණෙනි, මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. දිවි රක්නාහුය පොෂ්ය රක්නාහුය, මේ ලෝකයෙහි දක්නාහුයයි.”
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “පුත්රයන්ට මවුපියෝ බ්රහ්මයෝ යයිද පළමු ගුරුවරයෝයයිද සත්කාරයට සුදුස්සෝයයිද සත්වයාට උපකාර කරන්නාහුයයිද කියනු ලැබෙත්. එහෙයින්ම නුවණැති පුත්රතෙමේ මව්පියන්ට නමස්කාරකරන්නේය නැවත සත්කාරද කරන්නේය.
3. “අහරයෙන්ද නැවත පානයෙන්ද වතින්ද යහනින්ද ඇඟ ඇලීමෙන්ද නැහැවීමෙන්ද පය සේදවීමෙන්ද
4. මව්පියන් කෙරෙහි ඒ මෙහෙකිරීමෙන්ද පණ්ඩිතයෝ තුමූ ඔහුට මේ ලෙව්හිම පසසත්. පරලෙව්හි ස්වර්ගයෙහිද සතුටුවේයයි”
මේ කරුණද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 8.
8. බහූපකාර සූත්රය
107. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් බමුණු ගැහැවියෝ තොපට සිවුරුය, පිණ්ඩපාතය, සෙනසුන්ය ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙයින් උපස්ථාන කරන්නාහු වෙද්ද, ඒ බමුණු ගැහැවියෝ බොහෝ උපකාර ඇත්තාහු වෙති. මහණෙනි, තෙපිදු ඒ බ්රාහ්මණ ගෘහපතියන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද අර්ථ සහිතවූද, ව්යඤ්ජන සහිතවූද, සියල්ලෙන් සම්පූර්ණවූද, දහම් දෙසවුද, පිරිසිදු බඹසර ප්රකාශකරවූද ඕඝය තරණය කරන පිණිසද සියලු සංසාර දුඃඛය කෙළවර කිරීම පිණිස මාර්ගබ්රහ්මචර්යය වසන්නේ යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “ගිහියෝද පැවිද්දෝද (යන) දෙපාක්ෂිකයෝ ඔවුනොවුන් මනාව ඇසුරුකරන්නාහු උතුම් (සතර) යොගයෙන් නිර්භයවූ රහත් ඵලයටද, නිවනටද (පැමිණීම පිණිස) ප්රතිපත්ති සද්ධර්මයද, ප්රතිවෙධ සද්ධර්මයද සපයත්.
3. “පැවිද්දෝ ගිහියන් කෙරෙන් හෝ ගිහියන්ගේ සමීපයෙන් සිවුරුද, පිණ්ඩපාතය හා ගිලන්පසද සයන හා අසුන්ද ආරාමාදිය ද පිළිගනිත්.
4. “ගෘහයෙහි, භොගය හා ශීලය සොයනසුලුවූ ගෘහස්තයෝ මනාව පිළිපන් නිසා රහතුන්ගේ වචන අදහන්නාහු විශේෂයෙන් පිරිසිදු ප්රඥාවෙන් ධ්යාන කරන්නාහු වෙත්.
5. “මේ ආත්මයෙහි හෝ මේ සස්නෙහි මාර්ගයවූ ධර්මයෙහි හැසිර සුගතියට යන්නාහු සතුටුවන්නාහු දෙව්ලොව කැමැති පරිද්දෙන් කාමසම්පත් ඇත්තෝව සතුටු වෙති’යි”
මේ කරුණද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.