4. 1. 6.
6. තණ්හුප්පාද සූත්රය
105. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් නිමිතිවල භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදීද, ඒ තෘෂ්ණාව උපදින හේතු සතරෙකි. කවර සතරක්ද යත්?
මහණෙනි, සිවුරු හේතුකොට හෝ මහණහුගේ උපදින සුලු තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, පිණ්ඩපාතය කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, සෙනසුන කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. ප්රණීත ගිතෙල් වෙඬරු ආදීන් හේතුකොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී.
මහණෙනි, යම් නිමිතිවල භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදීද, මේ වනාහි ඒ තෘෂ්ණාවගේ උපදින කරුණු සතරෙකැයි”
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “තෘෂ්ණාව දෙවන්නාකොට ඇති පුරුෂතෙමේ බොහෝ කලක් මුළුල්ලෙහි සසර ඇවිදින්නේ මේ පවත්නා ආත්ම භාවයද අනාගතාත්ම භාවයද මෙවැනි නොවූ අනෙක් ආත්මභාව ඇති සසර නොඉක්මවයි.
3. “තෘෂ්ණාව දුකේ හටගැන්මයයි. මෙසේ දෝෂය දැන පහවූ තෘෂ්ණාව ඇත්තාවූ (තෘෂ්ණාදීන්) ගැණීමක් නැත්තාවූ සිහිය ඇත්තාවූ රහත් මහණතෙමේ වසන්නේයයි.”
මේ කරුණද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 7.
7. සබ්රහ්මක කුල සූත්රය
106. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපිය දෙදෙන ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්රහ්මයා ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලයන්ගේ දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදනලද්දාහු වෙද්ද, ඒ පූර්ව දෙවියන් සහිතවූ කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් විසින් මවුපියෝ ස්වකීය ගෘහයෙහි පුදන ලද්දාහු වෙද්ද, ඒ පූර්වාචාර්යයන් ඇති කුලයෝ වෙත්. මහණෙනි, යම් කුලවල දරුවන් තමාගේ ගෘහයෙහි මවුපියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ සත්කාරයට සුදුස්සන් ඇත්තාහු වෙත්.
“මහණෙනි, බ්රහ්මයයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්ව දෙවතාවෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි, පූර්වාචාර්යයෝ යයි මවුපියනට නමෙකි. මහණෙනි. (උපකාරයට කෙත් බැවින්) ආහුණෙය්යයෝයයි මවුපියනට (නියම) නමෙකි. ඊට හේතු කවරේද?
මහණෙනි, මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. දිවි රක්නාහුය පොෂ්ය රක්නාහුය, මේ ලෝකයෙහි දක්නාහුයයි.”
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “පුත්රයන්ට මවුපියෝ බ්රහ්මයෝ යයිද පළමු ගුරුවරයෝයයිද සත්කාරයට සුදුස්සෝයයිද සත්වයාට උපකාර කරන්නාහුයයිද කියනු ලැබෙත්. එහෙයින්ම නුවණැති පුත්රතෙමේ මව්පියන්ට නමස්කාරකරන්නේය නැවත සත්කාරද කරන්නේය.