4. 1. 5.
5. සම්පන්න ශීල සූත්රය
104. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් ඒ භික්ෂූහු ශීලයෙන් යුක්තවූවාහු වෙද්ද, සමාධියෙන් යුක්ත වූවාහු වෙද්ද, ප්රඥාවෙන් යුක්තවූවාහු වෙද්ද, ඵලයෙන් යුක්තවූවාහු වෙද්ද, අවවාද කරන්නාහු වෙද්ද, කර්මඵලයන් හඟවන්නාහු වෙද්ද, සද්ධර්මය අවබෝධ කරවන්නාහු වෙද්ද දක්වන්නාහු වෙද්ද සමාදන් කරවන්නාහු වෙද්ද මනාකොට තියුණු උත්සාහවත් කරන්නාහු වෙද්ද මනාකොට සතුටු කරවන්නාහු වෙද්ද කියන්නාහු වෙද්ද, මනාකොට දක්වන්නාහු වෙද්ද ගන්වන්නාහු වෙද්ද මනාකොට උත්සාහවත් කරන්නාහු වෙද්ද මොනවට සතුටු කරවන්නාහු වෙද්ද මනාකොට කියන්නාහු වෙද්ද,
මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ (ඇසින්) දැකීම පවා බොහෝ උපකාරයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ ඇසීමද බොහෝ උපකාරයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ සමීපයට එළඹීමද බොහෝ උපකාරයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ වතාවත් ආදිය කිරීමද බොහෝ උපකාරයයි කියමි. මහණෙනි, මම ඒ භික්ෂූන්ගේ (සමීපයෙහි) පැවිදිවීමද බොහෝ උපකාරයයි කියමි.
ඊට හේතු කවරේද?
“මහණෙනි, එබඳු ශීලාදී ගුණයෙන් සම්පූර්ණ ආර්යයන් සේවනය කරන්නාහට භජනය කරන්නාහට නිතර ආශ්රය කරන්නාහට සම්පූර්ණ නොවූද ශීලස්කන්ධය වැඩීමෙන් සම්පූර්ණවීමට යෙයි. සම්පූර්ණ නොවූද සමාධිස්කන්ධය වැඩීමෙන් සම්පූර්ණවීමට යෙයි සම්පූර්ණ නොවූද ප්රඥාස්කන්ධය වැඩීමෙන් සම්පූර්ණවීමට යෙයි. සම්පූර්ණ නොවූද විමුක්ති ස්කන්ධය වැඩීමෙන් සම්පූර්ණවීමට යෙයි. සම්පූර්ණ නොවූද විමුක්ති ඥානදර්ශන ස්කන්ධය වැඩීමෙන් සම්පූර්ණවීමට යෙයි.
“මහණෙනි, එබඳු ගුණයෙන් යුත් ඒ භික්ෂූහු ශාස්තෲහු අනුශාසනය කරන්නාහු යයිද කියනු ලැබෙත්. ගැල්නායකයෝ එතෙර කරන්නාහු යයිද කියනු ලැබෙත්. අවිද්යා නමැති අන්ධකාරය දුරුකරන හෙයිනුදු දුරුකරවන හෙයිනුදු අඳුරු දුරු කරන්නෝ යයිද කියනු ලැබෙත්. ආලෝකය කරන්නාහුයයිද කියනු ලැබෙත්. එළිය කරන්නෝ යයිද කියනු ලැබෙත්. බැබලීම කරන්නාහුයයිද කියනු ලැබෙත්. උල්කාව දරන්නාහුයයිද කියනු ලැබෙත්. ප්රභාව කරන්නාහුයයිද කියනු ලැබෙත්. ආර්යයෝයයිද කියනු ලැබෙත්. ඇස් ඇත්තෝයිද කියනු ලැබෙත්.”
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් මේ වැඩුණු ස්වභාව ඇති වැඩුණු සිත් ඇත්තාවූ දැහැමින් ජීවත්වන්නාවූ දැහැමින් ආත්මභාව පවත්වන්නාවූ හෝ ආර්යයන්ගේ පිරිසිදු බව විශේෂයෙන් තත්වූ පරිද්දෙන් දන්නවුන්ට
3. එළිය කරන්නාවූ (ප්රඥා නමැති) ආලෝකය කරන්නාවූ උත්සාහ සම්පන්නවූ නුවණැස් ඇත්තාවූ කෙලෙස් දුරුකළාවූ ඒ ආර්යයෝ සද්ධර්මය බබුළුවත්. එළි කරත්.
4. “ඉදින් පණ්ඩිතයෝ යම් ආර්යයන්ගේ අවවාද අසා මනාකොටම දැන ජාති ක්ෂයයයි කියන ලද අර්හත්ඵලය විශිෂ්ටඥානයෙන් දැන අවබෝධකොට නැවත ඉපදීමට නොපැමිණෙත්යයි.”
මේ කරුණද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 6.
6. තණ්හුප්පාද සූත්රය
105. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් නිමිතිවල භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදීද, ඒ තෘෂ්ණාව උපදින හේතු සතරෙකි. කවර සතරක්ද යත්?
මහණෙනි, සිවුරු හේතුකොට හෝ මහණහුගේ උපදින සුලු තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, පිණ්ඩපාතය කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. මහණෙනි, සෙනසුන කරුණු කොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී. ප්රණීත ගිතෙල් වෙඬරු ආදීන් හේතුකොට හෝ භික්ෂුවගේ උපදින සුලුවූ තෘෂ්ණා තොමෝ උපදී.