3. 5. 9.
ධම්මදාන සූත්රය
98. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, මේ දාන දෙකකි. ආමිෂ දානයද, ධර්ම දානයද යන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්ම දානයක්වේද, මේ ධර්ම දානය අග්රවේ. මහණෙනි, මේ බෙදීම් දෙකෙකි, තමා විසින් අනුභව කරනලද සිව්පසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදාදීම ද තමා විසින් උගත් ධර්මයාගේ උපදේශය අනුන්ට දීම යන දෙකය. මහණෙනි, මේ බෙදීම් දෙක අතුරෙන් යම් මේ ධර්මය බෙදීමක් වේද, මේ බෙදීම ශ්රේෂ්ඨය. මහණෙනි, මේ අනුග්රහ දෙකෙකි. අමිෂානුග්රහයද ධර්මානුග්රහයද යන දෙකය, මහණෙනි, මේ අනුග්රහයන් දෙක අතුරෙන් යම් මේ ධර්මානුග්රහයෙක් වේද, මේ ධර්මානු ග්රහය උතුමියි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුන මෙසේ කියනු ලැබේ:
“යම් දනක් උතුම්යයිද, නිරුත්තරයයි ද, කියද්ද, භාග්යවතුන් වහන්සේ උතුම් වූ අග්රවූ යම් බෙදීමක් වර්ණනා කළසේක්ද, උතුම් පින්කෙත්වූ බුද්ධ, බුද්ධ ශ්රාවකයන් කෙරෙහි පහන් සිත් ඇති දන්නාවූ කවර නම් නුවණැත්තෙක් හමුවූ කල්හි නොදෙන්නේද?
යම් කෙනෙක් වනාහි බුදුරජුන්ගේ ශාසනයෙහි ප්රසන්න සිත් ඇත්තාහු දහම් දෙසද්ද, අසද්ද, ඒ දෙදෙනා දන් පිළිගනිත්. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි අප්රමාදවූවාහු වෙද්ද, ඔවුන්ගේ උතුම් වූ අර්ථය පිරිසිදු වේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 5. 10.
තෙවිජ්ජ සූත්රය
99. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, මම න්යායයෙන් ත්රිවිද්යාවෙන් යුත් බ්රාහ්මණයා හඳුන්වමි. බමුණු යයි කියන කියවන පමණින් අන්යවූ ජාතිමත් බ්රාහ්මණයා නොහඳුන්වමි.
“මහණෙනි, කෙසේ නම් න්යායයෙන් ත්රිවිද්යාව ඇත්තාවූ බාහිත පාපී බ්රාහ්මණයා පණවම්ද, කියන කියවන පමණින් ජාතිමත්වූ අන්ය බ්රාහ්මණයා නොපණවම්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ බොහෝවූ පූර්ව ජාති සිහි කරයි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද (මෙසේ සිහි කරයි): ‘අසවල් තැන වීමි; එහි මෙනම් ඇත්තෙම්, මේ ගොත් ඇත්තෙම්, මේ වර්ණ ඇත්තෙම්, මේ ආහාර ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව අසවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත් ඇත්තෙම්, මේ වර්ණ ඇත්තෙම්, මේ ආහාර ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි. මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව බොහෝ පූර්ව ජාති සිහි කරයි. මෙය ඔහුගේ පළමුවන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, ආලෝකය උපන. අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නාට යම්සේද (එසේය).
නැවතද මහණෙනි, මහණතෙමේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින, හීනවූ ප්රණීතවූ, මනා වර්ණ ඇති දුර්වර්ණ ඇති, සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකියි. කම් වූ පරිදි මියගිය සත්වයන් දනියි. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, ආර්යයන්ට උපවාද කළෝය, මිත්යාදෘෂ්ටිකයෝය, මිත්යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සැප නැති දුගති නම් වූ විනිපාත නිරයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනෝ සුචරිතයෙන් යුක්තය, ආර්යයන්ට උපවාද නොකළෝය, සම්මා දෘෂ්ටිකයෝය, සම්මා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය’යි. මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින, හීනවූ ප්රණීතවූ, මනා වර්ණ ඇති දුර්වර්ණ ඇති, සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකියි. කම් වූ පරිදි මියගිය සත්වයන් දනියි. මෙය ඔහුගේ දෙවන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, ආලෝකය උපන. අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නාට යම්සේද (එසේය).