3. 5. 10.
තෙවිජ්ජ සූත්රය
99. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, මම න්යායයෙන් ත්රිවිද්යාවෙන් යුත් බ්රාහ්මණයා හඳුන්වමි. බමුණු යයි කියන කියවන පමණින් අන්යවූ ජාතිමත් බ්රාහ්මණයා නොහඳුන්වමි.
“මහණෙනි, කෙසේ නම් න්යායයෙන් ත්රිවිද්යාව ඇත්තාවූ බාහිත පාපී බ්රාහ්මණයා පණවම්ද, කියන කියවන පමණින් ජාතිමත්වූ අන්ය බ්රාහ්මණයා නොපණවම්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ බොහෝවූ පූර්ව ජාති සිහි කරයි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද (මෙසේ සිහි කරයි): ‘අසවල් තැන වීමි; එහි මෙනම් ඇත්තෙම්, මේ ගොත් ඇත්තෙම්, මේ වර්ණ ඇත්තෙම්, මේ ආහාර ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව අසවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත් ඇත්තෙම්, මේ වර්ණ ඇත්තෙම්, මේ ආහාර ඇත්තෙම්, මේ සැපදුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි. මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව බොහෝ පූර්ව ජාති සිහි කරයි. මෙය ඔහුගේ පළමුවන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, ආලෝකය උපන. අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නාට යම්සේද (එසේය).
නැවතද මහණෙනි, මහණතෙමේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින, හීනවූ ප්රණීතවූ, මනා වර්ණ ඇති දුර්වර්ණ ඇති, සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකියි. කම් වූ පරිදි මියගිය සත්වයන් දනියි. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තය, වාග් දුශ්චරිතයෙන් යුක්තය, මනෝ දුශ්චරිතයෙන් යුක්තය, ආර්යයන්ට උපවාද කළෝය, මිත්යාදෘෂ්ටිකයෝය, මිත්යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සැප නැති දුගති නම් වූ විනිපාත නිරයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තය, වාග් සුචරිතයෙන් යුක්තය, මනෝ සුචරිතයෙන් යුක්තය, ආර්යයන්ට උපවාද නොකළෝය, සම්මා දෘෂ්ටිකයෝය, සම්මා දෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුය’යි. මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැසින් චුතවන උපදින, හීනවූ ප්රණීතවූ, මනා වර්ණ ඇති දුර්වර්ණ ඇති, සුගතියට ගිය දුගතියට ගිය සත්වයන් දකියි. කම් වූ පරිදි මියගිය සත්වයන් දනියි. මෙය ඔහුගේ දෙවන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, ආලෝකය උපන. අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නාට යම්සේද (එසේය).
නැවතද මහණෙනි, මහණතෙමේ ආශ්රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්රවවූ චේතෝවිමුක්තියද පඤ්ඤාවිමුක්තියද මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ වසයි. මෙය ඔහුගේ තුන්වන විද්යාවයි. අවිද්යාව නැසිණ, විද්යාව උපන. අඳුර නැසිණ, ආලෝකය උපන. අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන්නාට යම්සේද (එසේය).
මහණෙනි, මෙසේ වනාහි න්යායයෙන් ත්රිවිද්යාවෙන් යුත් බ්රාහ්මණයා ත්රිවිද්යාවෙන් යුක්තයයි හඳුන්වමි. මින් අන්යවූ බ්රාහ්මණයා යජුර්වෙදාදිය කියන කියවන ප්රමාණයෙන් ත්රිවිද්යාව ඇත්තේයයි නො පණවමියි.”
මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
“යම් මහණෙක් තෙමේ පෙරවිසූ ජාති පිළිවෙළ දනීද සදෙව් ලොවද නව බඹලොවද සතර අපායද දකීද, යළිදු ඉපදීම ක්ෂය කරන්නාවූ රහත් බවට හෝ නිවණට පැමිණියේද, විශේෂයෙන් දැන කෙළවරට පැමිණියේද මුනිතෙම
යථොක්ත ත්රිවිද්යාවන් කරණ කොටගෙන ත්රිවිද්යාව ඇති බමුණු වෙයි. මම ඒ මහණහු ත්රිවිද්යාවෙන් යුත් බමුණුයයි කියමි. කියන ලද තෙපුල් පමණක් ඇති අන්යවූ ජාතිමත් බ්රාහ්මණයා ත්රිවිද්යාවෙන් යුක්තයයි නොකියමි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
පස්වන වර්ගයයි.
එහි උද්දානය:
පසාද, ජීවිත, සංඝාටි, අග්ගි, උපපරික්ඛා, උපපත්ති, කාම, කල්යාණ, දාන සහ ධම්ම දානය සමග තෙවිජ්ජ යන දසයයි.
තික නිපාතය නිමි.