3. 5. 8.
කල්‍යාණ සීල සූත්‍රය
97. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, සොඳුරු සිල් ඇත්තාවූ කල්‍යාණ බොධිපාක්ෂික ධර්ම ඇත්තාවූ කල්‍යාණ ප්‍රඥා ඇත්තාවූ මහණතෙම මේ ශාසනයෙහි රහත් වූ වැස නිමවනලද මාර්ග බ්‍රහ්මචරියාව ඇත්තාවූ උත්තම යයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ කෙසේ නම් කල්‍යාණ සිල් ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල් ඇත්තේවේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්පමාත්‍ර දෝෂයෙහි පවා භය දක්නාසුලුව, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා සිල් ඇත්තේ වෙයි. මනා සිල් ඇත්තේ මේ ප්‍රකාරයෙනි.
“කෙසේ නම් යහපත් බොධිපාක්ෂික ධර්ම ඇත්තේ වේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ සප්ත බොධි පාක්ෂික ධර්මයන් වැඩීමෙහි නැවත නැවත යෙදුනේ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සොඳුරු දහම් ඇත්තේ වෙයි. යහපත් සිල් ඇත්තේද, යහපත් දහම් ඇත්තේද මේ ප්‍රකාරයෙනි.
කෙසේ නම් සුන්දර ප්‍රඥාව ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙමේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රවයන් නැත්තාවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵලය හා එක්ව යෙදුනු ප්‍රඥාවද මේ ආත්මභාවයෙහි තෙමේම විශිෂ්ට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම කලණ නුවණ ඇත්තේ වෙයි. මේ ප්‍රකාරයෙන් හොඳ සිල් ඇත්තේ හොඳ දහම් ඇත්තේ හොඳ ප්‍රඥාව ඇත්තේ මේ ශාසනයෙහි රහත්යයිද වැසනිමවන ලද මාර්ග බ්‍රහ්මචර්යය ඇත්තේයයිද උතුම් පුරුෂයයිද කියනු ලැබේ යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
“යමෙකුගේ කයින්ද, වචනයෙන්ද, සිතින්ද, දුශ්චරිතයන් නැත්තේද, ලජ්ජා ඇත්තාවූ නොහොත් හිරිඔතප් දෙකින් යුත් සිත්ඇත්තාවූ ඒ මහණ සොඳුරු සිල් ඇත්තේ යයි කියත්.
යමෙකු විසින් ආර්ය මාර්ග ඥානයට පමුණුවන්නාවූ සප්ත ධර්මයෝ මොනවට වඩන ලද්දාහුද, අධික රාගාදී කෙලෙස් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සොඳුරු දහම් ඇත්තේයයි කියත්.
යමෙක් සංසාරදුඃඛය සංසාරදුඃඛයට හේතූන්ද මේ ආත්මභාවයෙහිම ක්ෂයවන බව දනීද, ආශ්‍රවයන් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සුන්දර ප්‍රඥාව ඇත්තේයයි කියත්.
ඒ ධර්මයන්ගෙන් යුක්තවූ නිදුක්වූ සිඳිනලද සැක ඇත්තාවූ ඇසුරු නොකළාවූ සියලු සත්වලෝකයෙහි හැම කෙලෙස් පහකළාවූ රහත්හු යයි කියත් යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 5. 9.
ධම්මදාන සූත්‍රය
98. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, මේ දාන දෙකකි. ආමිෂ දානයද, ධර්ම දානයද යන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්ම දානයක්වේද, මේ ධර්ම දානය අග්‍රවේ. මහණෙනි, මේ බෙදීම් දෙකෙකි, තමා විසින් අනුභව කරනලද සිව්පසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදාදීම ද තමා විසින් උගත් ධර්මයාගේ උපදේශය අනුන්ට දීම යන දෙකය. මහණෙනි, මේ බෙදීම් දෙක අතුරෙන් යම් මේ ධර්මය බෙදීමක් වේද, මේ බෙදීම ශ්‍රේෂ්ඨය. මහණෙනි, මේ අනුග්‍රහ දෙකෙකි. අමිෂානුග්‍රහයද ධර්මානුග්‍රහයද යන දෙකය, මහණෙනි, මේ අනුග්‍රහයන් දෙක අතුරෙන් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මේ ධර්මානු ග්‍රහය උතුමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුන මෙසේ කියනු ලැබේ:
“යම් දනක් උතුම්යයිද, නිරුත්තරයයි ද, කියද්ද, භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ අග්‍රවූ යම් බෙදීමක් වර්ණනා කළසේක්ද, උතුම් පින්කෙත්වූ බුද්ධ, බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි පහන් සිත් ඇති දන්නාවූ කවර නම් නුවණැත්තෙක් හමුවූ කල්හි නොදෙන්නේද?
යම් කෙනෙක් වනාහි බුදුරජුන්ගේ ශාසනයෙහි ප්‍රසන්න සිත් ඇත්තාහු දහම් දෙසද්ද, අසද්ද, ඒ දෙදෙනා දන් පිළිගනිත්. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි අප්‍රමාදවූවාහු වෙද්ද, ඔවුන්ගේ උතුම් වූ අර්ථය පිරිසිදු වේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.