3. 5. 7.
යොගයුත්ත සූත්‍රය
96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, පඤ්චකාම බන්ධනයෙහිවූ රාගයෙන් යුක්තවූද භව රාගයෙන් යුක්ත වූද, පුද්ගලතෙමේ එනසුලුවේ. මේ මිනිසත්බවට එන්නේවේ.
මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූ භව රාගයෙන් යුක්තවූ පුද්ගලතෙමේ නොපැමිණෙනසුලු වෙයි. මේ මිනිසත් බවට නොඑන්නේ වෙයි.
මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූද භවරාගයෙන් තොරවූද පුද්ගලතෙමේ ක්ෂය කරණලද ආශ්‍රවයන් ඇත්තාවූ රහත් වේයයි.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
“කාම රාගයෙන් යුක්තවූද, භවරාගයෙන් යුක්තවූද කාම රාග භව රාග දෙකින් යුක්තවූද ඉපදීමට හා මැරීමටද පැමිණෙනසුලුවූ සත්වයෝ සසරට යෙති.
යම් කෙනෙක් වනාහි කාමරාග යයි කියනලද ක්ලේශකාමය පහකොට චතුරාශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණියාහුද, භව රාගයෙන් යුක්තවූ අනාගාමීහු කාමලෝකයට නොපැමිණෙන්නාහුයයි කියනු ලැබෙත්.
සිඳින ලද සැකය ඇත්තාවූ යම් සත්වකෙනෙක් වනාහි ක්ෂයවූ නවවැදෑරුම් භයද මත්තෙහි පුනර්භවයද ඇත්තාහු වෙත්. යම් කෙනෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝ ඒකාන්තයෙන් ලෝකයෙහි එතෙරට ගියාහුයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
තුන්වන බණවරයි.
3. 5. 8.
කල්‍යාණ සීල සූත්‍රය
97. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, සොඳුරු සිල් ඇත්තාවූ කල්‍යාණ බොධිපාක්ෂික ධර්ම ඇත්තාවූ කල්‍යාණ ප්‍රඥා ඇත්තාවූ මහණතෙම මේ ශාසනයෙහි රහත් වූ වැස නිමවනලද මාර්ග බ්‍රහ්මචරියාව ඇත්තාවූ උත්තම යයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ කෙසේ නම් කල්‍යාණ සිල් ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල් ඇත්තේවේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්පමාත්‍ර දෝෂයෙහි පවා භය දක්නාසුලුව, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ මනා සිල් ඇත්තේ වෙයි. මනා සිල් ඇත්තේ මේ ප්‍රකාරයෙනි.
“කෙසේ නම් යහපත් බොධිපාක්ෂික ධර්ම ඇත්තේ වේද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ සප්ත බොධි පාක්ෂික ධර්මයන් වැඩීමෙහි නැවත නැවත යෙදුනේ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සොඳුරු දහම් ඇත්තේ වෙයි. යහපත් සිල් ඇත්තේද, යහපත් දහම් ඇත්තේද මේ ප්‍රකාරයෙනි.
කෙසේ නම් සුන්දර ප්‍රඥාව ඇත්තේවේද, මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙමේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රවයන් නැත්තාවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵලය හා එක්ව යෙදුනු ප්‍රඥාවද මේ ආත්මභාවයෙහි තෙමේම විශිෂ්ට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම කලණ නුවණ ඇත්තේ වෙයි. මේ ප්‍රකාරයෙන් හොඳ සිල් ඇත්තේ හොඳ දහම් ඇත්තේ හොඳ ප්‍රඥාව ඇත්තේ මේ ශාසනයෙහි රහත්යයිද වැසනිමවන ලද මාර්ග බ්‍රහ්මචර්යය ඇත්තේයයිද උතුම් පුරුෂයයිද කියනු ලැබේ යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
“යමෙකුගේ කයින්ද, වචනයෙන්ද, සිතින්ද, දුශ්චරිතයන් නැත්තේද, ලජ්ජා ඇත්තාවූ නොහොත් හිරිඔතප් දෙකින් යුත් සිත්ඇත්තාවූ ඒ මහණ සොඳුරු සිල් ඇත්තේ යයි කියත්.
යමෙකු විසින් ආර්ය මාර්ග ඥානයට පමුණුවන්නාවූ සප්ත ධර්මයෝ මොනවට වඩන ලද්දාහුද, අධික රාගාදී කෙලෙස් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සොඳුරු දහම් ඇත්තේයයි කියත්.
යමෙක් සංසාරදුඃඛය සංසාරදුඃඛයට හේතූන්ද මේ ආත්මභාවයෙහිම ක්ෂයවන බව දනීද, ආශ්‍රවයන් නැත්තාවූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් සුන්දර ප්‍රඥාව ඇත්තේයයි කියත්.