3. 5. 4.
4. අග්ගිත්තය සූත්රය
93. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, මේ ගිනි තුණක් වෙත්, කවර තුනක්දයත්, රාග නමැති ගින්නය, ද්වේෂ නමැති ගින්නය, මෝහ නමැති ගින්නය (යන තුනය.) මහණෙනි, මේ වනාහි තුන් ගිනි වෙති.
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “රාග නමැති ගින්න මිථ්යාචාරයට පැමිණියාවූ ඇලුනාවූ සත්වයන් දවයි, ද්වේෂ නමැති ගින්න වනාහි විකාරයට පැමිණිසිත් ඇත්තාවූ ප්රාණඝාත කරන සුලුවූ සත්වයන් (දවයි)
3. මෝහ නමැති ගින්න වනාහි ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ අතිශයින් මුළාවූ (සත්වයන් දවයි.) මේ තුන් ගිනි නොදන්නාවූ සත්වයෝ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ඇලුනාහුය.
4. “ඒ සත්වයෝ සියලු නරකයද තිරිසන් යෝනියද අසුරනිකායද ප්රෙතවිෂයයද වඩත්, (ඔව්හු) ක්ලේශ බන්ධනයෙන් නොමිදුනාහුය,
5. යම්කෙනෙක් වනාහි රෑ දාවල් දෙක්හි සම්යක් සම්බුදුන්වහන්සේගේ අනුශාසනයෙහි යෙදුනාහුද, නිතර අශුභය යන සංඥාව ඇත්තාවූ ඒ යොගීහු රාග නමැති ගින්න නිවයි.
6. ද්වේෂ නමැති ගින්න වනාහි උතුම් මිනිස්සු මෛත්රීභාවනාවෙන් නිවත්, කෙලෙස් රැස විනිවිද පවත්නාවූ යම් ප්රඥාවක් වේද, ඒ ප්රඥාවෙන් මෝහ නමැති ගින්න (නිවයි.)
7. (ඒ යොගීහු) සියලු (ගිනි) නිවා මුහුකුරාගිය ප්රඥාව ඇත්තාහු රෑ දාවල්හි අලස බැව් නැත්තාහු ස්කන්ධ ඉතිරිනොකොට පිරිනිවන්පාත්, සියලු (සංසාර දුඃඛය ඉක්මවූහ.)
8. “ආර්යවූ නිවන හෝ ආර්යවූ චතුස්සත්ය ධර්ම හෝ දක්නාවූ මාර්ගඥානයට හෝ මාර්ගඥානයෙන් ගියාවූ පණ්ඩිතයෝ මොනවට දැන ඉපදීම ක්ෂයවූ නිවන දැන පුනරුත්පත්තියට නොපැමිණෙත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 5.
5. උපපරික්ඛා සූත්රය
94. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, යම් යම් ප්රකාරයකින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ හෝ සිහිකරන්නාවූ පටන්ගන්නාලද විදර්ශනා ඇති මේ භික්ෂුවගේ සිත එකඟවේද, නොවිසුරුණේ වේද, යම් හෙයකින් වීර්යය මදව උසුලන කල්හි සමාධියගේ බලවත් බැවින්ද කුසීතයෙන් මඩනා ලද බැවින්ද කර්මස්ථාන අරමුණෙහි සිටියේ නම් වේද, වීර්ය සමතාවෙන් නොසිටියේවේද, රූපාදියක් නොගෙන ත්රස්ත නොවන්නේද, ඒ ඒ ප්රකාරයෙන් නැවත නැවත පරීක්ෂාකරන්නේය. මත්තෙහි ඉපදීමය. ජරාවය මරණය සියලු දුඃඛයන්ගේ ඉපදීම නොවේයයි.”
මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ක්රොධ, අවිද්යා, ක්ලෙශ දුශ්චරිත සංඛ්යාත ඇලීම් සත ප්රහීණ කළාවූ සිඳින ලද භව තෘෂ්ණාව ඇත්තාවූ භික්ෂුවගේ ඉපදීමවූ සසර ක්ෂයවූයේය, නැවත ඉපදීමෙක් නැතැයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 6.
6. කාමුප්පත්ති සූත්රය
95. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, මේ කාමයන්ගේ උත්පත්තීහු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක්ද යත්? පැමිණසිටි කාමයෝය, නිර්මානරතී කාමයෝය, පරනිර්මිතවශවර්ති (කාමයෝය) මහණෙනි, මේ වනාහි කාමයන්ගේ ප්රතිලාභ තුන වෙත් යයි.”