3. 5. 5.
5. උපපරික්ඛා සූත්‍රය
94. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, යම් යම් ප්‍රකාරයකින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ හෝ සිහිකරන්නාවූ පටන්ගන්නාලද විදර්ශනා ඇති මේ භික්ෂුවගේ සිත එකඟවේද, නොවිසුරුණේ වේද, යම් හෙයකින් වීර්යය මදව උසුලන කල්හි සමාධියගේ බලවත් බැවින්ද කුසීතයෙන් මඩනා ලද බැවින්ද කර්මස්ථාන අරමුණෙහි සිටියේ නම් වේද, වීර්ය සමතාවෙන් නොසිටියේවේද, රූපාදියක් නොගෙන ත්‍රස්ත නොවන්නේද, ඒ ඒ ප්‍රකාරයෙන් නැවත නැවත පරීක්ෂාකරන්නේය. මත්තෙහි ඉපදීමය. ජරාවය මරණය සියලු දුඃඛයන්ගේ ඉපදීම නොවේයයි.”
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “තෘෂ්ණා, දෘෂ්ටි, මාන, ක්‍රොධ, අවිද්‍යා, ක්ලෙශ දුශ්චරිත සංඛ්‍යාත ඇලීම් සත ප්‍රහීණ කළාවූ සිඳින ලද භව තෘෂ්ණාව ඇත්තාවූ භික්ෂුවගේ ඉපදීමවූ සසර ක්ෂයවූයේය, නැවත ඉපදීමෙක් නැතැයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 6.
6. කාමුප්පත්ති සූත්‍රය
95. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, මේ කාමයන්ගේ උත්පත්තීහු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක්ද යත්? පැමිණසිටි කාමයෝය, නිර්මානරතී කාමයෝය, පරනිර්මිතවශවර්ති (කාමයෝය) මහණෙනි, මේ වනාහි කාමයන්ගේ ප්‍රතිලාභ තුන වෙත් යයි.”
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “පැමිණ සිටි කාමය ඇත්තෝය, අනුන් විසින් මවන ලද කාමයන් (තමාගේ) වශයෙහි පවත්වන්නාවූ යම් දෙවියෝ වෙද්ද, (තමා විසින්) මවනලද කාමයෙහි ඇලීම ඇත්තාවූ යම් දෙවියෝ වෙද්ද, කාමයන් අනුභව කරන්නාවූ අන්‍යවූ යම් කෙනෙක් (ඇද්ද, ඔහු)
3. “මේ (ලබනලද) ආත්මභාවයෙහිද නැවත උපදින අන්‍යභවයයි කියනලද මෙයින් සසර නොඉක්මවත්. දිව්‍යවූ යම්කාමයෝ වෙද්ද, මිනිසුන් සතු වූ යම් කාමයෝ වෙද්ද, (ඒ) හැම කාමයන් පහකරන්නේය.
4. “(යම් කෙනෙක්) ප්‍රිය ස්වභාවය ඇත්තාවූ රූපාදී අරමුණුවල සුඛ වේදනා රසවිඳීමෙන් ගිජුවූ ඉක්මවන්නට දුෂ්කරවූ තෘෂ්ණා දියපහර සිඳ සියලු සංසාරදුඃඛය ඉක්මවූවාහුද, (ඔහු තුමූ) සියලු (කෙළෙස් ගිනි) නිවත්.
5. “ආර්යවූ (බුද්ධාදීන් විසින්) දක්නාලද නිවණ හෝ චතුස්සත්‍යධර්මය දුටු මාර්ග ඥානයට පැමිණියාවූ හෝ මාර්ග ඥානයෙන් සසර කෙළවරට ගියාවූ දතයුතු දේ මනාව දැන (ඒ) පණ්ඩිතයෝ ජාතික්ෂය සංඛ්‍යාතවූ නිර්වාණය දැන නැවත භවයෙහි ඉපදීමට නොපැමිණෙත් යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 7.
යොගයුත්ත සූත්‍රය
96. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. රහතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
මහණෙනි, පඤ්චකාම බන්ධනයෙහිවූ රාගයෙන් යුක්තවූද භව රාගයෙන් යුක්ත වූද, පුද්ගලතෙමේ එනසුලුවේ. මේ මිනිසත්බවට එන්නේවේ.
මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූ භව රාගයෙන් යුක්තවූ පුද්ගලතෙමේ නොපැමිණෙනසුලු වෙයි. මේ මිනිසත් බවට නොඑන්නේ වෙයි.
මහණෙනි, කාම තෘෂ්ණාවෙන් තොරවූද භවරාගයෙන් තොරවූද පුද්ගලතෙමේ ක්ෂය කරණලද ආශ්‍රවයන් ඇත්තාවූ රහත් වේයයි.
මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
“කාම රාගයෙන් යුක්තවූද, භවරාගයෙන් යුක්තවූද කාම රාග භව රාග දෙකින් යුක්තවූද ඉපදීමට හා මැරීමටද පැමිණෙනසුලුවූ සත්වයෝ සසරට යෙති.
යම් කෙනෙක් වනාහි කාමරාග යයි කියනලද ක්ලේශකාමය පහකොට චතුරාශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට නොපැමිණියාහුද, භව රාගයෙන් යුක්තවූ අනාගාමීහු කාමලෝකයට නොපැමිණෙන්නාහුයයි කියනු ලැබෙත්.
සිඳින ලද සැකය ඇත්තාවූ යම් සත්වකෙනෙක් වනාහි ක්ෂයවූ නවවැදෑරුම් භයද මත්තෙහි පුනර්භවයද ඇත්තාහු වෙත්. යම් කෙනෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝ ඒකාන්තයෙන් ලෝකයෙහි එතෙරට ගියාහුයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
තුන්වන බණවරයි.